සජිත් පාර්ශවයේ චෝදනා වලට රනිල් සිරිකොත දී පිළිතුරු දෙයි

නොවැ 22, 2019

    ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කිරීමේ වැඩපිළිවෙල අඩපණ කළ බවට එල්ල වන චෝදනා තමා ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අද (22) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව කියා සිටියේය‍.

    ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාව ජනාධිපති අපේක්ෂකයා වශයෙන් යෝජනා කරනු ලැබුවේ ද තමා බව පැවසු හිටපු අගමැතිවරයා, ඒ අනුව අනෙක් පක්ෂවල කැමැත්ත මත ජනාධිපතිවරණයට ගිය බවත් පැවසීය.

    මෙම යාන්ත්‍රණය හා සිරිකොත එම වැඩකටයුතු කළ බවට තමාට සහතික විය හැකි බව පැවසු රනිල් වික්‍රමසිංහ මහතා මෙම මැතිවරණය අඩපණ කළා යැයි පැවසෙන චෝදනා තමාගෙන් හෝ තමා විසින් නිර්මාණය කරන ලද යාන්ත්‍රණය තුළින් සිදු නොවුවක් බවද සඳහන් කළේය.

    රනිල් වික්‍රමසිංහ මහතා බාර ගනු ලැබුවේ උතුරු නැගෙනහිර ඡන්ද ප්‍රමාණය වැඩි කිරීම බවත් එම ඡන්ද ප්‍රතිශතය වැඩි කිරිමට හැකියාව ලැබුණ බවත් පැවසීය.

    නමුත් අවාසනාවකට දකුණේ ඡන්ද ප්‍රමාණය අඩු වු බවත් කියා සිටි ඒ මහතා, එය මෙම පරාජයට හේතුවු බවත් කියා සිටියේය.

    සිංහල, බෞද්ධ ඡන්ද පදනම නොමැති වීම, මීට පෙර පක්ෂයට සිදුව නොමැති වී නැතැයි කියා සිටි රනිල් වික්‍රමසිංහ මහතා, ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් සොයා බැලිය යුතු බවත් පැවසීය.

    ඇඟිලි දිගු කරමින් චෝදනා කිරීම සාර්ථක වැඩ පිළිවෙලක් නොවන බවත්, පක්ෂයට හෝ නිලධාරීන්ට මුල්‍ය කටයුතු පිළිබඳ කිසිදු වගකීමක් නොතිබුණ බවත් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

    මූල්‍ය කටයුතු තමා බාර නොගත් බැවින් ඒ සම්බන්ධයෙන් ඇති චෝදනා ද තමා ප්‍රතික්ෂේප කරන බවත් පැවසු රනිල් වික්‍රමසිංහ මහතා, පක්ෂය පිළිබඳ චෝදනා කරන්නේ නම් විභාග කර ඒවා අසත්‍ය නම් ඒ ගැන තදින් කටයුතු කළ යුතු බවත් පැවසීය.

     

    Latest News