ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති ගැන තැබෙන සටහනක්

නොවැ 17, 2019

    ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පිළිබඳව තබන සටහනක්.

    නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා, 1949 ජුනි 20 වැනි දින උපත ලැබුවේ මාතර පාලටුවේදී. එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ඩී.ඒ. රාජපක්‍ෂ මහතා සහ දන්දිනා සමරසිංහ මහත්මිය එතුමාගේ මව සහ පියායි. ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා, මෙරට දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් බවට පත් 5 වැනි විධායක ජනාධිපතිවරයා වු මහින්ද රාජපක්‍ෂ, හිටපු කතානායක චමල් රාජපක්‍ෂ, සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ සොහොයුරාද වනවා. හම්බන්තොට, වීරකැටිය ග්‍රාමයේ හැදී වැඩුණු ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා මූලික හා ද්විතීයික අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලයෙන්. පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව 1971 අප්‍රේල් 26 වැනි දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වූ ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා, 1972 මැයි 25 දෙවැනි ලුතිතන්වරයෙකු ලෙස හමුදා සේවයට ආරම්භ කළා. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ රජරට රයිෆල් බලකායේ සේවය කළ ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා 1983 වසරේදී ආරම්භ කෙරුණු ගජබා රෙජිමේන්තුව වෙත එක්කර ගැනුණා. ශ්‍රීමත් ජෝන් කොතළාවල ආරක්‍ෂක විද්‍යා පීඨයෙන් වැඩිදුර අධ්‍යාපනය ලබා විසි වසරක කාලයක් තුල ලුතිතන් කර්නල් නිලය දක්වා උසස්වීම් ලැබුව ඔහු පළමු ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලෙස ද ක්‍රියා කළා.

    එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව ක්‍රියාත්මක කළ ත්‍රිවිධ බලය හා බලවේගය මෙහෙයුම ඇතුලු විවිධ ප්‍රදේශ ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදා ගැනීමේ අසීරු ක්‍රියාන්විත රැසකට එතුමා සිය දායකත්වය ලබාදුන්නා. සිය හමුදා සේවා කාලය තුලදී ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා, රණවික්‍රම සහ රණශූර පදක්කම්වලින්ද පිදුම් ලැබුවා. 1992 වසරේදී යුද හමුදාවෙන් විශ්‍රාම ලැබූ රාජපක්‍ෂ මැතිතුමා එම වසරේදීම කොළඹ විශ්වවිද්‍යාලයෙන් තොරතුරු තාක්‍ෂණය පිළිබඳ පශ්චාත් උපාධියක්ද හිමිකර ගත්තා. අනතුරුව අමෙරිකා එක්සත් ජනපදය වෙත සංක්‍රමණය වූ ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා එහි පද්ධති අනුකළණය කරන්නෙකු ලෙස පරිගණක ක්‍ෂේත්‍රයේ වෘත්තිකයෙකු ලෙස ක්‍රියා කළා. 2005 වසරේ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මෙරට 5 වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් පත්වීමත් සමඟ රාජ්‍ය ආරක්‍ෂක ලේකම් ධූරය හිමිවූයේ ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාටයි. 2006 වසරේ ජුලි මාසයේ සිට එල්ටීටීඊ සංවිධානයට එරෙහිව මානුෂීය මෙහෙයුම ආරම්භ කළ අවස්ථාවේ පටන් ත්‍රිවිධ හමුදාව සම්බන්ධීකරණය කරමින් හා අවශ්‍ය උපදෙස් සහ මෙහෙයවීම් ලබාදෙමින් හමුදාවේ හැකියාවන් නව මඟකට යොමු කරවීමට ද එතුමා සමත්වුණා.

    එලෙස මානුෂීය මෙහෙයුම මනාව සම්බන්ධීකරණ්‍ය කරමින් සිටියදී ඔහු 2006 දෙසැම්බර් 1 වැනි දින පෙරවරුවේ මරාගෙන මැරෙන ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයකට ද ගොදුරු වුණා. ත්‍රිරෝද රථයකින් පැමිණි බෝම්බකරු ඔහු ගමන්ගත් රථය ඉලක්ක කර මෝටර් රථය සමීපයේ දී පුපුරුවා හැර විශාල විනාශයක් කිරීමට උත්සහ දැරුවද එය සාර්ථක වුයේ නැහැ. ප්‍රහාරය තවත් පන්නරයක් කරගත් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා 2009 වසරේ මැයි 19 වැනි දින යුද්ධය අවසන් වනතෙක් එය මනා ලෙස සම්බන්ධීකරණය කරමින් විජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත්වුණා.

    විජයග්‍රහණයෙන් අනතුරුව නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ වගකීම ද සිය උරමතට ගත් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා යුද්ධයෙන් හානියට පත් රට ගොඩනැගීමට ඉතා විශිෂ්ට වු දායකත්වයක් ලබාදුන්නා. විදේශ රටවලදී ලද අත්දැකීම් මෙන්ම, විශේෂඥයන්ගේ උපදෙස් අනුව නාගරික ප්‍රදේශ හා නගර අලංකරණය ව්‍යාපෘතියට ද නායකත්වය දුන් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ශ්‍රී ලංකාවේ කොළඹ නගරය ලොව වේගයෙන් සංවර්ධනය වන නගර අතර ප්‍රමුඛස්ථානයට රැගෙන ඒමට ද සමත්වුණා. එතුමාගේ අදහස්, සංකල්ප සහ උපදෙස් මත හැඩගැන්වුණු මෙන්ම, අභිනවයෙන් ඉදි කළ ගොඩනැගිලි, ශරීර සුවතා මංතීරු හා විවේක උද්‍යාන සහ ළමා උයන් ශ්‍රී ලාංකික ජනතාවට නවතම අත්දැකීමක් ද ළඟාකර දුන්නා. එලෙස ඉදිවූ අලංකාර ස්ථාන ශ්‍රී ලාංකික ජනතාවගේ මානසික හා ශාරීරික සුවතාවට මෙන්ම, භෞතික අලංකාරවත් බව ඔප්නැංවීමට අදටත් හේතුවී තිබෙනවා.

    Last modified on ඉරිදා, 17 නොවැම්බර් 2019 19:30

    Latest News