සජිත්ගෙන් ගෝඨාභයට සුබ පැතුම්

නොවැ 17, 2019

    ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව සිටින ගෝඨාභය රාජපක්‍ෂ මහතාට හඳපත්ලෙන්ම සුභ පතන බව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    තමා ජනතා තීන්දුවට හිස නමමින් එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක පදවියෙන් ද ඉල්ලා අස්වූ බව සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා නිකුත් කළ නිවේදනය ට්විටර් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රසිද්ධියට පත්කර තිබිණ. එහි සඳහන් වන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන ලෙස තමා නව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි. තමා වසර 26ක් ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටි බවත්, සිය ජනතාවාදී ක්‍රියාමාර්ගය ජනතාව තේරුම් ගනු ඇතැයි විශ්වාස කරන බවත්, ඔහු සිය නිවේදනයේ සඳහන් කරයි.

    නියෝජ්‍ය නායක පදවියෙන් ඉල්ලා අස්වීමේ තීරණය ගැනීමට මුලික හේතුවක් ලෙස සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දී ඇත්තේ සිය ඡන්ද බල ප්‍රදේශය වන හම්බන්තොට ජනතාව ලබාදුන් තීන්දුවට ගරු කරමින් එම තීරණය ගත් බවයි. තමාට සහය දුන් සියලු පාර්ශ්ව සමඟ සාකච්ජා කර ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ ගැන තීන්දුවක් ගන්නා බව ද සජිත් ප්‍රේමදාස මහතා සිය නිවේදනයෙන් සඳහන් කරයි.

    Last modified on ඉරිදා, 17 නොවැම්බර් 2019 15:01

    Latest News