රෝයල් පාර්ක් ඝාතනයේ විත්තිකරුගේ සමාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

නොවැ 14, 2019

    රාජගිරිය රෝයල් පාර්ක් මිනීමැරුම් විත්තිකරුට අධිකරණයෙන් නියම කළ මරණ දඬුවම අහෝසි කර ඔහු නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණයෙන් මූලික අයිතිවාසිකම් කඩව ඇතැයි පවසමින් කාන්තා මාධ්‍ය එකමුතුව සංවිධානය අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

    විත්තිකරු වහාම යළි අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා ඔවුන් විසින් ඉල්ලා සිටිති.

    කොළඹ 08, කාසල් පාරේ පිහිටි කාන්තා මාධ්‍ය එකමුතුව මඟින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නීතිපති, දොන් ශ්‍රාමන්ත ඇන්තනී ජයමහ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, ආගමන විගමන පාලක ඇතුළු 10 දෙනෙක් නම් කර තිබේ. දෙවැනි වගඋත්තරකරු රෝයල් පාර්ක් ඝාතන නඩුවේ විත්තකරු වේ. ඔහුට නියම කර ඇති මරණ දඬුවමෙන් නිදහස් කිරීම සඳහා ජනාධිපති සමාව ලබා දී ඇති බව මාධ්‍ය මඟින් දැන ගන්නට ලැබිණු බව පෙත්සමේ දක්වා ඇත.

    ජනාධිපතිවරයාට මෙවැනි සමාවක් ලබා දීමට බලයක් තිබුණ ද අමානුෂික මිනීමැරුමක විත්තිකරුවකු වන දෙවැනි වගඋත්තරකරුට සමාව නොදිය යුතුව තිබූ බවත් එයින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන බවත් පෙන්වාදි තිබේ. එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසද, තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප්‍රකාශ කරන ලෙස ද පෙත්සම්කාර සංවිධානය ඉල්ලා සිටි.

    එසේම දෙවැනි වගඋත්තරකරුට රටින් පිටවීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද මෙම පෙත්සම් විභාගය නිමවන තුරු ජනාධිපති සමාව දීම අත්හිටුවන ලෙසද පෙත්සම්කරුවෝ වැඩිදුරටත් ඉල්ලා සිටිති.

     

     

     

     

    Latest News