රෝයල් පාර්ක් විත්තිකරුට පොදු සමාව දීමට එරෙහි පෙත්සම කැඳවීම ජනවාරි 19

සැප් 28, 2020

    රෝයල් පාර්ක් මිනීමැරුම් නඩුව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ලබා සිටි විත්තිකාර ජූඩ් ශ්‍රමන්ත ජයමාන්න නමැත්තා පොදු සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ජනවාරි මස 19 වන දා සලකා බැලීම සඳහා කැඳවන ලෙස‍ ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

    කාන්තා මාධ්‍ය සංවිධානය විසින් ගොනු කර තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

    මෙම පෙත්සම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ සහ එස්. තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ මෙම පෙත්සම සලකා බැලීම සඳහා ජනවාරි මස 19 වන ලෙසයි.

    මිනීමැරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ලබා සිටි විත්තිකරුවෙකුට සමාව ප්‍රදානය කිරීමේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සම්පූර්ණ කළ යුතු පිළිගත් නීතිමය ප්‍රතිපාදනයන් අනුගමනය කර නොමැති බවයි පෙත්සම්කරුවන් චෝදනා කරන්නේ.

    මේ තුළින් හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බවටත් ඔහු විසින් ප්‍රදානය කර තිබෙන ජනාධිපති පොදු සමාව බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම තුළින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

    Latest News