රෝයල් පාක් නඩුවේ විත්තිකරුට දුන් ජනාධිපති සමාවට එරෙහි පෙත්සම විභාගයට අවසර

සැප් 23, 2022

    රෝයල් පාර්ක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටී ජූඩ් ෂමන්ත ජයමහ නමැත්තාට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා.

    ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.

    දීර්ඝ කරුණු විභාගයකින් අනතුරුව මෙම නියෝගය නිකුත් කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම නැවත මාර්තු මස 30 වනදා විභාගය සඳහා කැඳවන ලෙසත් නියෝග කර සිටියා.

    ඊට අමතරව වගඋත්තරකාර ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැත්තා විදේශගත වීම වළක්වාලමින් තහනම් නියෝගයක් ද අධිකරණය විසින් නිකුත් කළා.

    කාන්තා හා මාධ්‍ය සාමූහිකය නැමති සංවිධානය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

    පෙත්සම්කාර සංවිධානය කියා සිටින්නේ රෝයල් පාර්ක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු කෙරුණු ජූඩ් ෂමන්ත ජයමහ නමැති තරුණයාට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමේදී එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විධිමත් නීතිමය ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බවයි.

    ඒ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ වග උත්තරකරුට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ප්‍රදානය කර තිබෙන සමාව ඇතුළත් ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

    Latest News