තිළිණ ගමගේට එරෙහි නඩුව 25ට කල් යයි

නොවැ 14, 2019

    බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු සන්තකයේ තබා ගත් බවට චෝදනා එල්ල වී සිටින වැඩ තහනමකට ලක්ව සිටින මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව ගොනුකර ඇති නඩුවේ සාක්ෂිකරුවකු වන රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාට නැවත දැනුම් දුන් විට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළේය.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේ මීට පෙර අධිකරණය විසින් නිකුත්කළ නොතීසියකට අනුව සාක්ෂිකාර රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
    පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සාක්ෂිකාර අමාත්‍යවරයාගෙන් මෙම අවස්ථාවේ සාක්ෂි ලබා ගැනීමට අපේක්ෂා නොකරන බවත් නැවත අවශ්‍යතාවක් මතු වූවොත් ඔහු අධිකරණය හමුවේ කැඳවීමට බලාපොරොත්තුවන බවත් දැනුම් දුන්නේය. ඒ අනුව සාක්ෂිකාර අමාත්‍ය වසන්ත සේනානායක මහතා මුදාහැරීමට නියම කළ මහාධිකරණ විනිසුරු කුලතුංග මහතා නැවත දැනුම් දීමක් ලද විට අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස ඔහුට නියම කළේය.
    ඉන් අනතුරුව නඩුවේ සාක්ෂි කරුවකු ලෙස නම් කර සිටින වනජීවී අමාත්‍යාංශයේ හිටපු ලේකම් උදේනි වික්‍රමසිංහ මහතාගෙන් සාක්ෂි සටහන් කරගැනීම සිදුකෙරිණ. වැඩිදුර විමසීම ලබන 25 වනදාට කල් තැබිණ.
     
     
    Last modified on බ්‍රහස්පතින්දා, 14 නොවැම්බර් 2019 16:18

    Latest News