සෝෆා හා ඇක්සා ගැන පැතිරෙන ව්‍යාජ තොරතුරුවලට අමාත්‍ය තලතාගෙන් පිළිතුරු

නොවැ 08, 2019

    දිවයින පුරා වැඩ වෙසෙන මහා සංඝයා වහන්සේලා වෙත සෝෆා [SOFA] ගිවිසුම හා ඇක්සා [ACSA] ගිවිසුම සම්බන්ධ ව්‍යාජ තොරතුරු ඇතුළත් නිර්ණාමික ලිපියක් යවා ඇති බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ පවසයි.

    ඒ ලිපියේ සඳහන් කරුණුවල සත්‍ය අසත්‍යතාවය පැහැදිලි කිරීම සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය විසින් උන්වහන්සේ වෙත යැවූ ලිපිය මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

    එම ලිපිය ...

    ගෞරවණීය ස්වාමින්වහන්ස,

    ඔබ වහන්සේ වෙත නිර්නාමිකව එවන ලද ලිපිය සඳහා පිළිතුරු වශයෙන් සහ අසත්‍ය කරුණු පිළිබද සත්‍යතාවය දැනුවත් කිරීමට ශාසනාලය පෙරදැරිව මෙසේ ලිවිමට අදහස් කරමි.

    එම ලිපිය මගින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුළු රටම ඇමරිකා එක්සත් ජනපදයට භාරදී අප මාතෘ භූමිය ඇමරිකා එක්සත් ජනපදයේ කඳවුරක් බවට පත් කිරීමට ගිවිසුමක් සුදානම් කර ඇතිබවත් එය සෝෆා ගිවිසුම ලෙසත් හදුන්වා දී ඇත.

    ගරු ස්වාමීන් වහන්ස, සෝෆා [SOFA] ගිවිසුම හා ඇක්සා [ACSA] ගිවිසුම සම්බන්ධයෙන් කෙටි පැහැදිලි කිරීමක් පහතින් දක්වා තිබේ.

     

    සෝෆා [SOFA] ගිවිසුම යනු...

    සෝෆා ගිවිසුම යනු 1995 වර්ෂයේ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එවකට ජනාධිපති ලෙස කටයුතු කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ ඇමෙරිකානු එක්සත් ජනපදය අතර ඇති කර ගත් ඇමරිකානු නාවික ගුවන් යානා සඳහා පහසුකම් සැපයීමට යොදා ගත් අවබෝධතා ගිවිසුමක් වේ. මෙම ගිවිසුම මගින් ඇමරිකානු යුධ හමුදාවට ශ්‍රී ලංකාවට කිසිදු බාධාවකින් තොරව එවකට පැවති යුධමය වාතාවරණයේදී යුධමය ක්‍රියාමාර්ග සඳහා ශ්‍රී ලංකා වරාය ගුවන්තොටුපලවලින් ඇතුලු විමේ හැකියාව උදාවේ. වර්තමානය වන විට මෙම ගිවිසුම යාවත්කාලීන කිරීම (නැවත ගිවිසුම් ගත කිරීම) කටයුතු තවම සිදු කර නොමැත.

     

    ඇක්සා [ACSA] ගිවිසුම යනු...

    මෙම ගිවිසුම 2007 වර්ෂයේදී ඇමරිකානු එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් කළ ගිවිසුමක් වන අතර එමගින් අපගේ ආරක්ෂක හමුදාවට නාවික පුහුණුව ලබා ගැනීමට මුහුදු තීරය ආරක්ෂා කර ගැනීමට ඇමරිකානු එක්සත් ජනපදයේ සහය හිමි වේ. මෙමගින් අපගේ ජාතික ආරක්ෂාව සහ ස්වෛරීත්වය වැඩිදියුණු කිරීමට හේතු වේ. මෙම ගිවිසුම 2007 මාර්තු 05 වන දින එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ඇමරිකානු එක්සත් ජනපදය අතර අත්සන් කර තිබෙන අතර එය 2017 අගෝස්තු මස 04 වන දින එය නැවත යාවත් කාලීන කර තිබේ. ඇක්සා ගිවිසුම මගින් ශ්‍රී ලංකාව ඇමරිකානු එක්සත් ජනපදය එකිනෙකාගෙන් භාණ්ඩ මිලදී ගැනීමට ඉඩ ප්‍රස්තාව උදාකර දී තිබේ.

    ඔබ වහන්සේට ලැබුණු නිර්නාමික ලිපියේ මෙම ගිවිසුම් සම්බන්ධයෙන් කොන්දේසි වශයෙන් කරුණු 16 ක් පිළිබඳව සඳහන් කර තිබෙන අතර ඒ පිළිබඳව නිවැරදි කරුණු සැකවින් ඔබවහන්සේගේ අවධානයට සහ දැන ගැනීම පිණිස මෙසේ දක්වනු කැමැත්තෙමි.

     

    01. ඇමරිකානු එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මෙම ගිවිසුමේ කාර්යයන් කිරීම සඳහා මෙරට එවන සියලුම හමුදා නිලධාරීන් ඇතුලු සෙබලුන්ට කොන්ත්‍රාත්කරුවන්ට එම කොන්ත්‍රාත්කරුවන්ගේ නියෝජිතයින්ට කම්කරුවන්ට තානාපතිවරුන්ට හිමි වන මුක්තිය හිමි වේ. ”

    ඉහත මෙම කරුණ සම්පුර්ණයෙන්ම අසත්‍යයකි.

    “ඕනෑම රටක රාජ්‍ය සේවයට අනුයුක්තව හමුදා හෝ සිවිල් නිළධාරියෙකුට තම රජය නියෝජනය කරමින් වෙනත් රටකට යාමේදී ඔවුන් හට තම රජය විසින් තුන්වන ලියවිල්ලක් (ThirdParty Note -TPN) ලබා දෙන අතර එය විසා ලබා ගැනීමේදී ප්‍රමුඛතාවයක් නිකුත් කරන ලිපියක් මිස කිසිවිටකත් තානාපතිවරුන්ට හිමි මුක්තිය හිමි නොවේ.

     

    “02- මෙම ගිවිිසුම යටතේ ලංකාවට පැමිණෙන ඉහත 1වන පරිච්ඡෙදයේ කී පුද්ගලයෙකූ සිදු කරනු ලබන අපරාධයක් සම්බන්ධයෙන් විමර්ෂන කළ හැක්කේ ඇමරිකා එක්සත් ජනපදයේ දී පමණි එය ඔවුන්ගේ අපරාධ නීතිය අනුව සිදූ කෙරේ.”

    ඉහත මෙම කරුණ සම්පුර්ණ අසත්‍යයකි.

    මෙම ගිවිසුමට ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අත්සන් තබන ලද්දේ 1995 වසරේදී වන අතර එය ආරක්ෂක අමාත්‍යාංශය මගින් සිදු කරනු ලබන අතර ඒ අනුව සෑම ඇමරිකානු පුරවැසියෙකුම සිදු කරනු ලබන අපරාධයක් සම්බන්ධයෙන් විමර්ශනයක් කළහැක්කේ එරට අපරාධ නීතිය නොව වියානා සම්මුතියෙහි සඳහන් කරුණු අනුව පමණි.

     

    “03- මෙම සියලු දෙනාටම තානාපති මුක්තිය ඇති බැවින් ඔවුන් මෙරට අපරාධ සහ සිවිල් නීතියට යටත් නොවේ.”

    ඉහත මෙම කරුණ සම්පුර්ණ අසත්‍යයකි.

    මෙම පුද්ගලයන්ට තානාපති මුක්තිය නොලැබෙන අතර එමගිවිසුමෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය ආරක්ෂා වන අතර සියලුදෙනා ශ්‍රී ලංකාවේ නීතියට යටත් වේ.

     

    “04- සෝෆා ගිවිසුම ඇමරිකානු හමුදාවේ පාවිච්චිය සඳහා ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයක ගොඩනැගිලි ඉදිකිරීමේ පුර්ණ අයිතිය ලැබේ. මෙහි ගොඩනැගිලි ලෙස සඳහන් වුවද මේවා ඇත්තවශයෙන්ම හමුදා කඳවුරුය.”

    ඉහත මෙම කරුණ සම්පුර්ණ අසත්‍යයකි.

    ඇමරිකානු හමුදා හෝ වෙනත් කිසිම විදේශ හමුදාවකට ලංකාවේ ස්ථානගත විමට හෝ කඳවුරු බැඳීමට ඉඩකඩ නොමැත.

     

     

    “05- ඔවුන් මෙරට කිසිදු බදු හෝ වෙනත් ගෙවීම්වලට යටත් නොවේ.”

    ඉහත මෙම කරුණ සම්පුර්ණ අසත්‍යයකි.

    මේ පිළිබඳව මෙම ගිවිසුම මගින් නොව එහෙත් ශ්‍රී ලංකාවේ සේවය කරමින් විදේශ මුදල්වලින් වැටුප් ලබන සෑම නිලධාරියකුම ආදායම් බදුවලින් නිදහස් වේ.

     

    “06-ඔවුන්ට මෙරටට පැමිණිම පිටවීම සඳහා විසා පාස් පෝට් අවශ්‍ය නැත“
    ඉහත මෙම කරුණ සම්පුර්ණ අසත්‍යයකි.

    ඉහත 01 සඳහන් පරිදි සියලුම විදේශිකයන්ට නීත්‍යානුකූලව නිකුත් කරන ගුවන් ගමන් බලපත්‍ර සහ විසා අත්‍යාවශ්‍ය වේ.

     

     

    “07- කිසිදූ හැදුනුම්පතක් කිසිම ස්ථානයකදී ඉදිරිපත් කිරීමට අවශ්‍ය නැත.”

    ඉහත මෙම කරුණ සම්පුර්ණ අසත්‍යයකි.

    ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය ගිවිසුමෙන් ආරක්ෂා වන බැවින් සෑම විදේශිකයෙකුම තමන්ගේ අනන්‍යතාවය හෙළි කිරීමට බැඳී ඇත.

     

     

    “08- ඇමරිකානු ගුවන් යානා නාවුක යාත්‍රා ඕනෑම ගුවන්තොටුපලකට හෝ වරායකට කිසිදුඅවසරයක් නොමැතිව ඕනෑම අවස්ථාවක ඇතුළුවීමටද හැක.”
    ඉහත මෙම කරුණ සම්පුර්ණ අසත්‍යයකි.

    ශ්‍රී ලංකාව ස්වෛරී රටක් වන බැවින් මෙරටට පැමිණෙන ඕනෑම නෞකාවක් හෝ ගුවන් යානාවන්ට හෝ එහි නිලධාරීන් හට මුහුදුසීමාවටත් ගුවන් අවකාශයටත් ඇතුළු විමට අවසරය ලබා ගත යුතුමෙන්ම අවශ්‍ය අවසරයක් නොමැතිව පිටවිමද කළ නොහැක.

     

     

    “09- එසේ එය යාත්‍රා ගුවන් තොටුපලකට හෝ වරායකට ඇතුළුවීමේදී හෝ පිටවිමේදී කිසිදු යාත්‍රාවක් හෝ එහි ඇති භාණ්ඩකිසිවක් පරීක්ෂාවට ලක් කළ නොහැක.”

    ඉහත මෙම කරුණ සම්පුර්ණ අසත්‍යයකි.

    මෙරටට සෝෆා ගිවිසුම යටතේ පැමිණෙන සෑම මගියෙකුටම සාමාන්‍ය ගුවන් හෝ නෞකා මගින් පැමිණෙන සෑම මගියෙකුමෙන් පරීක්ෂාවට ලක් කිරීමට ඒ සම්බන්ධයෙන් වන සියලු ආගමන විගමන නීති රීතින්ට යටත් වේ.

     

     

    “10 ඉහත කී යාත්‍රාවලින් කිසිදු වරාය හෝ ගුවන් තොටුපල ගාස්තු අය කළ නොහැක.”

    ඉහත මෙම කරුණ සම්පුර්ණ අසත්‍යයකි.

    අනෙක් සෑම වෙළද යුධ හෝ මගී යානාවක් නෞකාවක් මෙන්ම ගුවන් තොටුපලට හෝ වරායන් තුළට ඇතුළු විමේ දී ගාස්තු ගෙවිමට යටත් වේ.

     

     

    “11- ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ පද්ධතියට කිසිදූ අය කිරීමක් නොමැතිව ඔවුන්ට අවශ්‍ය පරිදි නිර්මාණය කර පාවිවිචි කළ හැක.”
    ඉහත මෙම කරුණ සම්පුර්ණ අසත්‍යයකි.

    ශ්‍රී ලංකාවෙි විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව මගින් පාලනය වන අතර එහි අවසරය ලබා ගැනීම අනිවාර්ය වේ.

     

     

    “12- මෙම ගිවිසුම යටතේ ක්‍රියා කිරීමේදී ශ්‍රි ලාංකීය හමුදාවේ නිළධාරියෙකූට සිවිල් වැසියෙකූට දේපළකට සිදු වෙන හානි එනම් ජීවිත හානිවලටද ඇතුළුව වන්දි ගෙවිමේ වගකීමෙන් නිදහස් වේ.”

    ඉහත මෙම කරුණ සම්පුර්ණ අසත්‍යයකි.

    සෑම ශ්‍රී ලාංකික පුරවැසියකු වන ඕනෑම කෙනක් හෝ දේපළක් මෙන්ම මෙම භූමිය තුළ සිදුවන සියලු වැරදි සම්බන්ධයෙන් ලංකාවේ නීතියට යටත් වේ.

     

     

    “13- ඇමරිකා එක්සත් ජනපදයේ නිකුත් කර ඇති ඕනෑම වෘත්තිය බලපත්‍රයක් රියදූරු බලපත්‍ර ද ඇතුළුව මෙරට වලංගු වේ. ඒවා පරීක්ෂා කිරීමට ශ්‍රි ලංකාවට අයිතියක් නැත. මේ සම්බන්ධයෙන් මෙරට පනවා තිබෙන නීතිද සෝෆා ගිවිසුම යටතේ ක්‍රියාත්මක වේ.”

    ඉහත මෙම කරුණ පහත පරිදි වේ.

    ශ්‍රි ලංකාවේ ඒ ඒ අවශ්‍යතාවන්හි පිළිගැනීම අනුව සිදු කෙරෙන අතර පිළිගත් විදේශ රියදූරු බලපත්‍ර වලංගු වේ. එහි පරීක්ෂා කිරීමේ බලය මෙරට නිළධාරීන් සතුය.

     

     

    “14- සෝෆා ගිවිසුම කෙටුම්පත පිළිගත හැකි යැයි ශ්‍රි ලංකාව ප්‍රකාශ කිරීමෙන් පමණක්ම එය නීතිමය වශයෙන් බලාත්මක වේ. නැවත ගිවිසුමක් අත්සන් කිරීම අවශ්‍ය නොවේ.”
    ඉහත මෙම කරුණ සම්පුර්ණ අසත්‍යයකි.

    1995 දී ඇමරිකා එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර අත්සන්කරන ලද සෝෆා ගිවිසුම දෙරටම එකතු වන ඒකාබද්ධ ව්‍යායාමයන් සිදුකිරීම අවශ්‍ය නීති රිති සඳහන් වේ. එම අරමුණු ක්‍රියා පටිපාටි කිසිලෙසකත් වෙනස් නොවේ.

     

    “15- මෙම ගිවිසුමෙන් සම්පුර්ණයෙන්ම ශ්‍රි ලංකාවේ ව්‍යවස්ථාව භෞමික අඛණ්ඩතාවය ස්වෛරීත්වය උල්ලංඝණය වේ.”
    ඉහත මෙම කරුණ සම්පුර්ණ අසත්‍යයකි.

    ශ්‍රි ලංකාවේ භෞමික අඛණ්ඩතාවය ස්වෛරීත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගෙන ඇති අතර එය ආරක්ෂා කිරීමට ද එකඟ වි ඇත.

     

    “16- මෙම ගිවිසුම බලාත්මක වුවහොත් මුළු ශ්‍රි ලංකාවම ඇමරිකා එක්සත් ජනපදයේ හමුදා කඳවුරක් බවට පත් වේ.”

    ඉහත මෙම කරුණ සම්පුර්ණ අසත්‍යයකි.

    මෙය සම්පුර්ණයෙන්ම මෙම ගිවිසුම පිළිබදව අවබෝධයක් නොමැති සමාජයේ එක් එක් කොටස් නොමග යැවීමටත් ගෞරවනීය ඔබ වහන්සේලා මගින් සමාජය තුළ යම් මතයක් ගොඩ නැගිමටත් කරන ලද අසත්‍ය ලියවිල්ලකි.

    අපේ රටේ පිහිටිම ද ආසියානු කළාපය තුළ ඉතාම වටිනාකමක් ගෙන දෙන අතර අපට එහි ආර්ථික ප්‍රගතිය සඳහා හවුල්කරුවන් අවශ්‍ය වන අතර ජාත්‍යන්තර වේදිකාවෙන් හුදෙකලා විය නොහැක. ඇමරිකා එක්සත් ජනපදය ලොව සිටින ප්‍රධාන ආර්ථික බලවතෙක් වන අතර එහි නාවික බලය ඉතාම දියුණු මට්ටමක පවතින බැවින්සෝෆා [SOFA] ගිවිසුම හා ඇක්සා [ACSA] ගිවිසුම් තුළින් ශ්‍රි ලංකාව ආර්ථික වාණිජ කේන්ද්‍රස්ථානය වශයෙන් දියුණුකර ගත හැක.

    මෙම ගිවිසුම අත්සන් කළ ද කිසිදු ආකාරයකින් රටකට මිලිටරි ක්‍රියාමාර්ගයක් ගත නොහැක.

    ලෝකයේ රටවල් 94 ක් මෙලෙස ගිවිසුම් ඇති කර ගෙනඇති අතර ඉන් ආසියාවේ සහ මැද පෙරදිග රටවල් 25 ක් වේ. ඒඅතර දකුණු කොරියාව, සිංගප්පුරුව, ජපානය, ඉන්දියාව, කටාර්, ජෝර්දානය හා වෙනත් රටවල් ඇත.

     

     

    ගෞරවනීය ස්වාමින්වහන්ස,
    ඔබ වහන්සේලා නොමග යවමින් පටු දේශපාලනික අවශ්‍යතාවයන් මුදූන් පමුනුවා ගැනීම සදහා ව්‍යාජ තොරතුරු පදනම් කර ගනිමින් මෙම ගිවිසුම් සම්බන්ධ කාරණා සමාජයේ වැරදි මතයක් ගොඩ නැගීමට උත්සාහ කර තිබේ. මෙම ලිපිය මගින් ඔබ වහන්සේලා වෙත යම් පැහැදිලි කිරීමක් අවබෝධයක් ලබාදීමට හැකිවනු ඇතැයි මා විශ්වාස කරමි. එබැවින් ඔබ වහන්සේලා මෙම වැරදි මතය නිවැරදි කිරීමට කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරමි.

    මෙයට, ශාසන ලැදි,

    නීතිඥ තලතා අතුකෝරළ: (පා.ම.)
    අධිකරණ හා බන්ධනාගාර ප්‍රති සංස්කරණ අමාත්‍ය

    Latest News