මාකදුරේ මධුෂ් ගැන මානව හිමිකම් කොමිසමට දැනුම් නොදුන්නැයි CIDට නොතිසි

නොවැ 08, 2019

    මාකදුරේ මධුෂ් රඳවා ප්‍රශ්න කිරීම ගැන මානව හිමිකම් කොමිසමට දැනුම් නොදුන් බව කියන සිද්ධියට අදාළව CIDහි ASP ඉන්දික ලොකුහෙට්ටිට දෙසැම්බර් මස 20 අධිකරණයේ පෙනි සිටිමට නොතිසි නිකුත් කරයි.

    නීති විරෝධි ලෙස මාකදුරේ මධුෂ් අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් පැය 24ක් තුළ මානව හිමිකම් කොමිසමට දැනුම් නොදුන් බව කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතාට ලබන දෙසැම්බර් මස 20 වනදා අධිකරණයේ පෙනි සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (08) නොතිසි නිකුත් කළේය.

    සිද්ධිය සම්බන්ධයෙන් වග උත්තරකරුවන් ලෙස නම් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා සහ සහකාර පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කරන්නැයි ඉල්ලමින් මධුෂ් වෙනුවෙන් පුද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් නීතිඥ ජාලිය සමරසිංහ මහතා ඉදිරිපත් කර තිබූ නඩුවට අදාළ නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත් වරයා මේ නියෝගය සිදු කළේය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ඝාතනය කිරිමට සැළසුම් කළ බවට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාකදුරේ මධුෂ් අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් පැය 24ක් තුළ මානව හිමිකම් කොමිසමට දැනුම් නොදුන් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට සහ සහකාර පොලිස් අධිකාරී ලොකුහෙට්ටි මහතා යන දෙදෙනා සම්බන්ධයෙන්ම පියවර ගත හැකිද යන්න පිළිබඳව නියෝගය මහේස්ත්‍රාත්වරයා අද 08 ප්‍රකාශයට පත් කරමින් මේ බව දැනුම් දුන්නේය.

    සිද්ධියට අදාළව මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයා අධිකරණයට වාර්තාවක් එවා ඇත.
    නීතිඥ ජාලිය සමරසිංහ මහතා එම පැමිණිල්ල මගින් මාකදුරේ මධුෂ්ට එරෙහිව ජනාධිපතිවරයා ඝාතිනය කිරිම සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් නැති බවත් ඔහු රඳවා ප්‍රශ්න කරන්නේ කුමන නෛතික ප්‍රතිපාදන යටතේ ද යන්න සහ මධුෂ් අත්අඩංගුවට ගෙන දින 90 වැඩි කාලයක් රඳවා ප්‍රශ්න කිරිම, එසේ ප්‍රශ්න කරනු ලබන්නේ කුමන නීතිමය තත්ත්වයක් යටතේද යන්න විමසා ඇති අතර සැකකාර මධුෂ් අත්අඩංගුවට ගෙන පැය 24ක් තුළ මානව හිමිකම් කොමිසමට දැනුම් දිය යුතු වුවද ඒ බව දන්වා නැති බවද පැමිණිල්ල මගින් දන්වා ඇත.

    Last modified on සිකුරාදා, 08 නොවැම්බර් 2019 15:33

    Latest News