ගෝඨාභයගේ Z-score එකෙන් දේශපාලන බලපැම් ඇති විය හැකි - ඇමති අකිල

නොවැ 07, 2019

    ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව නව විද්‍යාත්මක Z-score ක්‍රමවේදයෙන් විශ්ව විද්‍යාල සිසුන් බඳවා ගැනීමෙන් දේශපාලන බලපෑම් ඇති විය හැකි බව අධ්‍යාපන අමාත්‍ය, නිතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ අද ( 07) දහවල් පැවැති විශේෂ මාධ්‍ය සාකාච්ඡාවේදී ය.

    “ දිස්ත්‍රික්ක පදනමින් විශ්ව විද්‍යාලවලට සිසුන් තෝරා ගැනිමේ දී එක් දිස්ත්‍රික්කයක ප්‍රධාන හා ජනප්‍රිය පාසලට සමාන්තරව දුෂ්කර පාසල්වල සිසුන්ට ඇතිවන අසාධාරණය ඉවත් කිරීම සඳහා පාසල් පදනම් කරගෙන නව විද්‍යාත්මක ක්‍රමවේදයක් හඳුන්වා දිම ද කළ යුත්තේ? එසේ නැත්නම් දුෂ්කර පාසල් ක්‍රමය නැතිකර ඒවා දියුණු පාසල් මට්ටමට ගෙන ඒම දැයි මෙරට ජනතාවගෙත් මා අහන්න කැමතියි. දුෂ්කර පාසල් හැමදාම ඒ තත්ත්වයෙන් ම තබා ගැනීමට මේ ගොල්ලෝ කැමති බවයි, පෙනි යන්නේ ”

    ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි අධ්‍යාපනය පිළිබඳ කරුණු සලකා බැලිමේදි අධ්‍යාපනඥයින් හෝ අධ්‍යාපන ක්ෂේත්‍රය හා සම්බන්ධ සාමාන්‍ය දැනුමක් ඇති කෙනෙකුට වුවත් එහි ඇති බරපතලකම හා ගැටලු සහගත බව හඳුනා‍ගත හැකි යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    “ මේ ප්‍රකාශනය හදන විට අධ්‍යාපනඥයෝ නම් ළඟින්වත් ඉදලා නැහැ” යි ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    “මේ ගොල්ලන්ට බලයට එන්න බැරිවෙන නිසා හොඳයි, නැත්නම් බලයට ආවොත් අප මේ හදාගෙන යන අධ්‍යාපන පද්ධතිය කඩා වැටෙනවා” යැයි ද අමාත්‍යවරයා පැවසීය. දුෂ්කර පාසල් වෙනුවට සියලු පාසල් වලට සමානව භෞතික හා මානව සම්පත් ලබා දී දියුණු පාසල් පද්ධතියක් ඇති කිරීම වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙල වුව ද පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව දුෂ්කර පාසල් ක්‍රමය තවදුරටත් පවත්වාගෙනයාම ඔවුන්ගේ අරමුණ වී ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

    අධ්‍යාපනඥයන් ප්‍රමුඛ විද්වත් පිරිසකගේ නායකත්වයෙන් නිර්ණායක සකස් කොට වසර ගණනාවක් පුරා ක්‍රියාත්මක කරන ලද Z-score ඉතා හොඳ විද්‍යාත්මක ක්‍රමයක් බවත් විපක්ෂයේ සිටිය දී පවා ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන ලද බව අමාත්‍යවරයා කියා සිටියේය. පාසල් පදනම් කර ගනිමින් Z-score ක්‍රමයක් සකස් කිරීමේදි දුෂ්කර පාසල් උදෙසා නිර්ණායක සකස් කරන්නේ කෙසේ දැයි ප්‍රශ්න කළේය.

    ගුරු සහායක සහයිකාවන් 50,000ක් බඳවා ගැනීම සඳහා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති යෝජනාව ගැන ද අමාත්‍යවරයා සඳහන් ක‍ළේ, පසුගිය රාජපක්ෂ ආණ්ඩුව ගුරු සහායකයින් බඳවාගෙන අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මකභාවය අඩුකරන ලද බවයි.

    අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක බව ආරක්ෂා කිරිමට දේශපාලන ලයිස්තුවෙන් වැඩ බලන විදුහල්පතිවරුන් පත්කිරීම වෙනුවට, විභාග පවත්වා සුදුස්සන් බඳවා ගැනීම අධ්‍යාපන ඇමති වු පසු ක්‍රියාත්මක කළ ඔහු පැවසීය.

    “ බස් ඩිපෝ වලට විවිධ කාර්මිකයන් 50,000ක් බඳවා ගන්නා ආකාරයට පාසල් සඳහා ගුරුවරුන් 50,000ක් බඳවා ගත නොහැකියි. ගුරුවරුන් බඳවා ගැනිමට විධිමත් ක්‍රමයක් තිබෙනවා. එම ක්‍රමයෙන් තොරව ගුරුවරුන් බඳවා ගත නොහැකියි. වැරදිමකින් හෝ එම කණ්ඩායම බලයට පත්වුවහොත් අධ්‍යාපනය වෙනුවෙන් මේ දක්වා අප සිදුකරන ලද දේ ගඟට කැපූ ඉණි බවට පත්වෙනවා. මේ කියන විදිහට කටයුතු කළහොත් වසර 13ක සහතික කරන ලද අධ්‍යාපනය ද අහෝසි කිරීමට ඉඩ තිබෙනවා “යැයි ද අමාත්‍යවරයා කීවේය.

    “රටට හා වැඩ ලෝකයට ගැලපෙන දැනුම පදනම් කරගත් සමාජයක් බිහි කිරීමට අවශ්‍ය තරුණ පරපුරක් නිර්මාණය කිරීම අපේ අරමුණයි. එහෙත් එම මැතිවරණ ප්‍රකාශනයෙන් තැත් කරන්නේ නැවත වැඩවසම් යුගයකට යාම සඳහායි.”

     

     

     

     

     

     

     

     

     

    Latest News