සිංහල සාහිත්‍ය දෙමළෙන්; දෙමළ සාහිත්‍ය සිංහලෙන්

ඔක් 16, 2019

    සිංහල සාහිත්‍යය පොත් දෙමළ භාෂාවටත් දෙමළ පොත් සිංහල භාෂාවටත් පරිවර්තනය කර ප්‍රකාශයට පත් කිරීමේ නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට තීරණය කෙරේ.

    සිංහල ලේඛකයන්ගේ සාහිත්‍ය කෘති දෙමළ භාෂාවට හා දෙමළ ලේඛකයන්ගේ කෘති සිංහල භාෂාවටත් පරිවර්තනය කොට පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මගින් ප්‍රකාශයට පත් කිරීමේ නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට තීරණය කරන ලද බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යතුමා එසේ ප්‍රකාශ කළේ, ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ කන්දයියා පද්මනාදන් මහතා විසින් රචනා කරන ලද කාව්‍ය ග්‍රන්ථ දහයක් එළි දැක්විම නිමිත්තෙන් බම්බලපිටිය සරස්වතී ශාලාවේ දී ඉකුත් ඉරිදා (13) පැවැති උත්සවය අමතමිනි.

    මෙරට දෙමළ ජනතාවට බෙහෙවින් කියවීමට ලැබී ඇත්තේ ඉන්දියානු කතුවරුන් ලියා මෙරටට ආනයනය කරන ලද දෙමළ සාහිත්‍ය පොත් බව සඳහන් කළ අමාත්‍යවරයා ශ්‍රී ලාංකික දෙමළ ලේඛකයන්ගේ පොත් මෙරටම ප්‍රකාශයට පත් කිරීමෙන් මෙරට සංස්කෘතිය හා දේශීයත්වය අගයන සාහිත්‍ය කෘති රස විඳීමට දෙමළ ජනතාවට අවස්ථාව උදාවන බව පෙන්වා දුන්නේය.

    දෙමළ ජනතාවට සිය භාෂාවෙන් පොත් ලිවීමට හා ප්‍රකාශනයට පවතින අඩුපාඩු මඟ හැරවීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය සමඟ පැවැති සාකච්ඡාවක දී ඉහත තීරණයට එළඹුණ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

    සිංහල හා දෙමළ පොත් පරිවර්තනය කිරීමේ වැඩපිළිවෙල නිසා එම භාෂා පරිශීලනය කරන ජනතාවට එකිනෙකාගේ හැඟීම් අවබෝධ කර ගැනීම සඳහා මහඟු අවස්ථාවක් සැලසෙන බවට ද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

    Latest News