පසුගිය මැතිවරණවලට සාපේක්‍ෂව මෙවර ප්‍රචණඩත්වය අවමයි; පැෆ්රල් සංවිධානය

නොවැ 07, 2019

    පසුගිය මැතිවරණවලදී විපතට පත් පාර්ශවය වූයේ විපක්‍ෂයේ ධාරාවන් වුවත්, මෙවර මැතිවරණයේ ප්‍රචණ්ඩත්වයෙන් වැඩිම විපතට පත්ව ඇත්තේ, ආණ්ඩු පක්‍ෂය බව, පැෆ්රල් සංවිධානය පවසයි.

    එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ, අවස්ථා 15කදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පීඩාවට පත් පාර්ශවය වී ඇති බවයි. කෙසේ වෙතත්, පසුගිය මැතිවරණවලට සාපේක්‍ෂව මෙවර ප්‍රචණඩත්වය අවම වී ඇතැයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේය.

    “මැතිවරණයේදී සාධනීය විධියට බැලුවොත් ප්‍රචණ්ඩත්වය සැලකිය යුතු මට්ටමකට අඩුවෙලා තියෙනවා. පසුගිය දින කිහිපය තුළ කුඩා වැඩිවීමක් තිබුණත් 2015 මැතිවරණයත් එක්ක සංසන්ධනය කර බැලුවොත් සැලකිය යුතු මට්ටමක අඩුවීමක් දක්නට තියෙනවා. 2015 වර්ෂයේ බරපතල ගණයේ සිද්ධීන් 36ක් සමස්ත කාලය තුළ වාර්තා වෙනවා. මේ දක්වා සිද්ධීන් 9ක් පමණයි වාර්තා වෙනවා. පසුගිය මැතිවරණවලදී චෝදනා එල්ල වෙන්නේ විපතට පත්වෙච්ච පාර්ශවය වන්නේ විපක්‍ෂයේ ධාරාවන්.

    නමුත් මෙවර ප්‍රචණ්ඩ ක්‍රියා හරහා විපතට පත්වෙලා තියෙන්නේ ආණ්ඩුවට සම්බන්ධ පාර්ශ්වයන් තමයි අවස්ථා 15කදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පීඩාවට පත්වෙච්ච පාර්ශ්ව හැටියට හඳුනාගෙන තියෙනවා. පොදුජන පෙරමුණ අවස්ථා හතකදී පීඩාවට පත්වෙච්ච පාර්ශ්ව හැටියට හඳුනාගෙන තියෙනවා. සමස්ත සිද්ධීන් ප්‍රමාණයෙන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කය තුළ. සාපේක්‍ෂව මේ මැතිවරණයේ ප්‍රචණ්ඩත්වය ඉතාම අවම මට්ටමක පවත්වාගෙන යන්නට හැකියාව ලැබිලා තියෙනවා. පෝස්ටර්, කටවුඩ් සෑහෙන ප්‍රමාණයකට අඩුවෙලා තියෙනවා. 2015 වගේම 2019 ජනාධිපතිවරණය රාජ්‍ය දේපොළ අවභාවිතාව සැලකිය යුතු මට්ටමක තවමත් දකින්නට තියෙනවා.

    මාධ්‍ය මධ්‍යස්ථ භාවය පිළිබඳව බරපතල සංවාදයක් සමාජය තුළ ඇතිවෙලා තියෙනවා. සමබරව දේශපාලන අපේක්‍ෂකයින්ට මාධ්‍ය ඉඩකඩ ලබා නොදීම පිළිබඳව යම් සංවාදයක් නිරික්ෂණය වෙනවා. ජාතිය සහ ආගම භාවිතා කිරිම පිළිබඳව මේ දක්වා කාලය තුළ නිරික්ෂකයින් හරහා වාර්තා වෙනවා. පසුගිය ජනාධිපතිවරණයේත්, මේ ජනාධිපතිවරණයේත් දෙකේම රාජ්‍ය බලය හා රාජ්‍ය දේපොළ භාවිතා වීම බරපතල කාරණයක් හැටියට අපි දකිනවා. මෙවර රාජ්‍ය බලය භාවිතා කිරිමේදී පසුගිය මැතිවරණයත් එක්ක වෙනස තමයි පසුගිය මැතිවරණයේ බොහෝ චෝදනා එක් පාර්ශ්වයකට තමයි එල්ල වුණේ.

    නමුත් මේ ජනාධිපතිවරණයේදී මධ්‍යම රජයටත්, පළාත් රජයටත්, පළාත් සභාවටත්, පළාත් පාලන ආයතනවලටත් මේ චෝදනා එල්ල වී තිබෙනවා. පළාත් පාලන ආයතන 23කට චෝදනා එල්ල වෙලා තියෙනවා. ඉන් බහුතරයක් විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂවලට අයත් පළාත් පාලන ආයතන. ඒ වගේම ආණ්ඩුකාරවරු හය දෙනෙක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙලා තියෙනවා. ඔවුන් දේශපාලනය කරන බව, පළාත් සභාවල වාහන, සම්පත් භාවිත වන බව දෛනිකව පැමිණිලි ලැබෙමින් තිබෙනවා“ යැයි රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

    Latest News