පාස්කු ප්‍රහාරයට මුස්ලිම් අමාත්‍යවරුන්ට චෝදනා කළ රාජපක්‍ෂවරු ISIS නායක ඝාතනයේදි මුණිවත රැකියා - අගමැති

නොවැ 06, 2019

    පාස්කු ප්‍රහාරයේදී ආණ්ඩු පක්‍ෂයේ මුස්ලිම් අමාත්‍යවරුන්ට චෝදනා කළ රාජපක්‍ෂවරු ප්‍රධාන පොදුජන පෙරමුණ, අයි.එස්.අයි.එස්. නායකයා ඝාතනයට ලක්වීම ගැන මුණිවත රකින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ආණ්ඩුවේ මුස්ලිම් අමාත්‍යවරුන්ට දොස් නැගීමට පසුබට නොවන ඔවුන් අයි.එස්.අයි.එස්. සංවිධානයට හෝ එහි නායකත්වයට හෝ දොස් පැවරීමට බිය වන්නේ ඇයිදැයි වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රශ්න කළේය.

    අද (06) දින අම්පාර, සමන්තුරේ, අබ්දුල් මජීඩ් ශාලාවේ පැවැති යොවුන් හමුවක් අමතමින් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

    සජිත් ප්‍රේමදාස මහතා ඇතුලූ කණ්ඩායම ශ්‍රී ලාංකේය අනන්‍යතාවය පෙරදැරි කර ගෙන රටම එකතු කිරීමට උත්සාහ දරණ අතර රාජපක්‍ෂ කණ්ඩායම ජාතිවාදය හා අන්තවාදය පෙරදැරි කර ගෙන රටම බෙදා වෙන්කර දේශපාලන බලය ලබා ගැනීමට තැත් දරණ බව ඔහු පැවසිය. සංහිදියාව ආරක්‍ෂා කර ගනිමින් ත්‍රස්තවාදය පිටුදැකීමට ක්‍රියා කරන කණ්ඩායමක් සමග රට ඉදිරියට ගෙන යනවා ද, නැතිනම් ජාතිවාදය පදනම් කර ගනිමින් රට අඳුරු යුගයකට තල්ලූ කිරීමට වෙර දරණ කණ්ඩායමකට රට බාර දෙනවා ද යන්න තීරණය කිරීමේ අවස්ථාව නොවැම්බර් 16 වැනිදා උදා වී ඇති බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වාදුනී.

    රටත්, ජනතාවත් එකමුතු කරමින් එක්ව ඉදිරියට යා හැකි සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති පදවියට පත් කර ගැනීම උදෙසා නොවැම්බර් 16 වැනිදා ඡන්දය ප්‍රකාශ කරන මෙන් වික්‍රමසිංහ මහතා අම්පාර ප්‍රදේශයේ තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටියේය.

    කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, වරාය හා නාවික කටයුතු සහ දක්‍ෂිණ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මහරුෆ්, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.එම්. ඉස්මයිල්, බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම යන මහත්වරුන්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ක්‍රියාකාරීන් සහ තරුණ තරුණියන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

     

     

     

    Latest News