ප්‍රතිපත්ති එක්ක බලද්දී සජිත් ඉදිරියෙන්..චන්ද්‍රිකා

නොවැ 06, 2019

    ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන සජිත් ප්‍රේමදාස හා ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශ අතරින් හොඳම ප්‍රතිපත්ති ප්‍රකාශය ලෙස තමා පිළිගන්නේ සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය යැයි හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

    ඇය මේ බව ප්‍රකාශ කළේ ඊයේ (05) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය කර තිබූ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩංගණයේ පැවති අපි ශ්‍රී ලංකා සමුළුව අමතමිනි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමෙන් විනාශයට පත්වූ බවට කරන ප්‍රකාශ තමා පිළිගන්නේ නැති බවත් 2015 ජනාධිපතිවරණයෙන් පසු බිහිවූ ආණ්ඩුවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් වූ බවත් එම ආණ්ඩුවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ප්‍රබල අමාත්‍යාංශ ලැබුණු බවත් එමගින් තම පාක්ෂිකයන්ට සේවය කිරීමට අවස්ථාව ලැබූ බවත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කළාය.

    ලබන 16 වැනිදා ජනාධිපතිවරණයෙන් පොහොට්ටුව ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වී යන බවත් පක්ෂ මූලස්ථානයත් අහිමි වී යා හැකි බවත් ඇය ප්‍රකාශ කළාය.

    එම සමුළුවට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, අමාත්‍යවරුන් වන මංග සමරවීර, රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, මනෝ ගනේෂන් හා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම යන මහත්වරුන් එක්ව සිටියේය.

    Last modified on බදාදා, 06 නොවැම්බර් 2019 13:38

    Latest News