දිවිනැගුමේ මුදල් සාවද්‍ය පරිහණයට එරෙහි බැසිල්ගේ නඩුව ජනවාරි 20 විභාගයට

නොවැ 05, 2019

    ඉකුත් ජනාධිපතිවරණයේ සමයේ දිවිනැගුම අරමුදලට අයත් රුපියල් මිලියන තිස් හයකට ආසන්න මුදලක් වැය කර දිවයින පුරා ප්‍රාදේශීය සභාවලට ජී .අයි. පයිප්ප බට මිලදීගෙන බෙදාහැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කර හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් ජනවාරි මස 20 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විනිසුරුවරයා නියම කළේ මෙම නඩුව ජනවාරි මස 20 වැනිදා විභාගය සඳහා කැඳවන ලෙසයි.

    මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන් නම් කර තිබෙන අතර ඔවුන් මේ වන විට අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබේ.

    Last modified on අඟහරුවාදා, 05 නොවැම්බර් 2019 14:25

    Latest News