සජිත් සමාජ විප්ලවය - “ශක්තිමත් දේශයක් සාධාරණ සමාජයක්“ ප්‍රතිපත්ති ප්‍රකාශය

ඔක් 31, 2019

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ, ජනාධිපතිධූර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තේමාව “ශක්තිමත් දේශයක් සාධාරණ සමාජයක්“ යන්නයි.

    “ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට සීමාවක් නැත එක්ව ගමන යමු“ යන උප තේමාව යටතේ, ප්‍රතිපත්ති ප්‍රකාශය පිටු 80කින් සමන්විතයි. එහි විශේෂ කරුණු 20ක් දක්වා තිබේ. වේගවත් සහ නියත යුක්තිය සපුරා, නීතියේ පාලනය ක්‍රියාත්මක කරවීම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන්. මත්ද්‍රව්‍ය, දූෂණය සහ ආගමික අන්තවාදයට එරෙහි දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට මෙමගින් සජිත් ප්‍රේමදාස මහතා කැපවේ. ජාතික ආරක්‍ෂාව පිළිබඳ මූලෝපාය සකසනු ලබන්නේ, බුද්ධි මණ්ඩප විශේෂඥ පිරිසක් විසින්. පාර්ලිමේන්තුව ආරම්භ කරන ලද ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සියලු පාර්ශවකරුවන් සමඟ අවසන් කිරීමට මෙගින් යෝජනා කර තිබේ. එමගින් පුරවැසියන්ගේ අයිතීන් ආරක්‍ෂා කොට 25%ක කාන්තා නියෝජනය ශක්තිමත් කරනු ඇත. විදේශ ප්‍රතිපත්තියෙහි මිත්‍රත්වයේ පදනම මත විවෘත වෙළෙඳාම, යාත්‍රා කිරීමේ නිදහස සහ ජාත්‍යන්තර නීතියේ මූලධර්ම රැකීමට බැඳී සිටීමට මෙමගින් යෝජනා කෙරේ.

    ප්‍රකාශනයේ නිදහස, බහුලත්වවාදය සහ විවිධත්වය ආරක්‍ෂා කරන අතර, පෞද්ගලික මාධ්‍ය ආචාර්යධාර්මික හා වගකීම් සහිතවීම තහවුරු කිරීමේ රෙගුලාසි ක්‍රියාවට නැංවේ. එය සිදු කරනු ලබන්නේ, නිර්දේශපාලනිකවයි. ඇතැම් ප්‍රදේශවල ගැටුමක්ව පවතින අලි මිනිස් ගැටුම නිරාකරණයට ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ. තරඟකාරී ශ්‍රී ලංකාවට, තරඟකාරී වෙළෙඳ පොළක් හඳුන්වාදීමට මෙමඟින් යෝජිතයි. නව ව්‍යාපාර සහ සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත වර්ධනය සඳහා නව වැඩපිළිවෙළක් යෝජනා කර තිබේ. මේ යටතේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන විසින් ලබාදුන් ණයවල පෙලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කර තිබේ. මෙරට මූල්‍ය වෙළෙඳ පොළ නව්‍යකරණය කොට කොළඹ කේන්ද්‍රීය අන්තර් ජාතික මූල්‍ය නගරය ශක්තිමත්, ප්‍රතිපත්තිමය හා නෛතික මෙන්ම, පරිපාලන රාමුවක් යටතේ ක්‍රියාත්මක කෙරේ. සාධාරණ හා යුක්ති සහගත බදුකරණය වක්‍ර බදු 60%කින් අඩු කිරීමට යෝජනා කරන අතර, එමගින් සාමාන්‍ය ජනයාට විශාල සහනයක් ලැබේ. කුලී රථ හා ත්‍රිරෝද රථ රියදුරන්ට රුපියල් තුන් ලක්‍ෂයක ඇප රහිත ණයක් ලබාදීමට සජිත් ප්‍රේමදාස සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් යෝජනා කළේය. මධ්‍යම අධිවේගී මාර්ගය සහ නව කැළණි පාලම ව්‍යාපෘතිය ජනාධිපතිධූරයේ පළමු වසර තුළදී නිමා කෙරෙනු ඇත.

    කැළණිවැලි දුම්රිය මාර්ගය ද්විත්ව දුම්රිය මාර්ගයක් ලෙස වැඩි දියුණු කෙරේ. කොළඹ සහ මහනුවර නගරවලට ස්වක්‍රීය රථවාහන කළමනාකරණ පද්ධතියක් හඳුන්වාදීමට ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පියවර ගෙන තිබේ. වරාය, ගුවන් සේවා සහ සැපයුම් ක්‍රියාවලිය මෙරට භූගෝලීය පිහිටීම අනුව, වාසිදායක තත්වයට පත්කරනු ඇත. සංචාරක කර්මාන්තය සඳහා නව සහන පැකේජ හඳුන්වා දී බදු සහ ණය සහන හඳුන්වාදීමට ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පියවර ගෙන තිබේ. සියලුම උසස් පෙළ පාසල්වලට විද්‍යා හා තාක්‍ෂණ විෂයධාරාවන් ලබාදීමට නියමිතයි. රාජ්‍ය මිශ්‍ර හා වෙළෙඳ පොළ ආකෘති භාවිත කරමින් පාසල් අධ්‍යාපනය පුළුල් කෙරේ. ඒ යටතේ නව ජාතික පාසල් 30ක් ස්ථාපනය කෙරෙනු ඇත. පාසල් පද්ධතියේ ගුරු හිඟය පියවා ගැනීමට අධ්‍යාපනවේදී උපාධිය සඳහා සිසුන් 5,000ක් වාර්ෂිකව බඳවා ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් යෝජනා කර තිබේ. වෛද්‍ය හිඟය පියවීම සඳහා රජයේ විශ්වවිද්‍යාලවලට 1,300 සිට 2,000 දක්වා වෛද්‍ය සිසුන් බඳවා ගැනීමට නියමිතයි. ගර්භණී කාන්තාවන් සඳහා වු රජයේ දීමනාව මසකට රුපියල් 20,000 සිට රුපියල් 30,000 දක්වා වැඩි කෙරේ. 2025 වනවිට සියලු නිවාස සඳහා ආරක්‍ෂිත පානීය ජලය ලබාදේ.

    රණවිරු කටයුතු සඳහා දෙපාර්තමේන්තුවක් පිහිටුවීමට ජාතික අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කෙරේ. විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් සඳහා රාජ්‍ය සේවයේ 3%ක රැකියා කෝටාවක් ඔවුන් සඳහා වෙන් කෙරේ. සමෘද්ධි හා ජනසවිය වැඩසටහන් දෙකෙහි යහපත් මූලිකාංග එක් කරමින් දුගී බව තුරන් කිරීමට නව ක්‍රමෝපායක් හඳුන්වාදීමට සජිත් ප්‍රේමදාස මහතා බලාපොරොත්තු වේ. අනේවාසික විදේශ මුදල් ගිණුම්වලින් සියලු ආදායම් බදු ඉවත් කෙරේ. එමෙන්ම විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි සියලු සංක්‍රමික ශ්‍රමිකයින් සඳහා සිහින මාළිගා ණය ක්‍රමය යටතේ සියයට 75%ක පොලී සහනාධාරයක් යටතේ නිවාස ණය ආධාරයක් ලබාදීමට පියවර ගනු ඇත. කඳුරට දෙමළ ජනයා වෙනුවෙන්, පෞද්ගලික හා රාජ්‍ය ව්‍යවසාය ශක්තිමත් කොට ගොවි නිෂ්පාදන මිලදී ගන්නා වැඩපිළිවෙළක් සකස් කෙරේ. ඔවුන්ගේ හැකියාවන් වර්ධනයට කඳුරට විශ්වවිද්‍යාලය නමින් නව විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීට යෝජිතයි.

     

    සම්පුර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශනය

    Last modified on බ්‍රහස්පතින්දා, 31 ඔක්තෝබර් 2019 18:40

    Latest News