නියම ශ්‍රීලනිප පාක්ෂිකයෝ පොහොට්ටුවට කැමැති නැහැ; තව සතියකින් ශ්‍රීලනිපයේ කණ්ඩායමක් හංසයාට - අමාත්‍ය අර්ජුන

ඔක් 31, 2019

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය සුරක්ෂිත වීමට නම් හංසයා ලකුණින් ඉදිරිපත් වන සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යෙන්ම ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ යුතු බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

    එතුමා මේ බව කියා සිටියේ මිනුවන්ගොඩ ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජික පිරිසක් අමතමිනි.

    ඒ අවස්ථාවේ අදහස් දැක්වූ අමාත්‍ය අර්ජුන රණතුංග...

    “නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය මේ පෙහොට්ටුවට කැමති නැහැ. ඒක ඇත්ත කතාවක්. මේ ඇත්ත කථාව සාක්ෂි සහිතව ඔපුප් කළේ ඇල්පිටිය ඡන්දෙදි. ඇල්පිටිය ඡන්දයට කලින් තමයි පොහොට්ටුවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි ගිවිසුම් අත්සන් කළේ. නමුත් ඇල්පිටිය ඡන්දෙදි පන්දාහකට ආසන්න ඡන්ද සංඛ්‍යාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබුණා. ඒකෙන් පෙන්නුම් කළේ තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය පොහොට්ටුවට යට‍ නොවී ස්වාධීනව සිටීමට කැමැති බව. පක්ෂයේ අනන්‍යතාවය ආරක්ෂා කර ගෙන සිටීමට කැමැති බව. නමුත් පොහොට්ටුව දින්නොත් බණ්ඩාරණායක මහත්තයගේ පින්තූරයක්වත් දාන්න දෙන එකක් නැහැ. සිරිමාවෝ මැතිනිය දකින එකකුත් නැහැ. මේ ලොකේ ප්‍රථම අගමැතිනිය. ඒ හින්දා අප ඉදිරි ජනාධිපතිවරණයෙන් පත් ක‍ළ යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තමන්ගේ දේශපාලන ක්‍රියාකාරම් කර ගැනීමට නිදහස දෙන පුද්ගලයෙක්. ඒ සඳහා අපට සිටින්නේ එක්සත් ජාතික පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතායි. ඒ හින්දා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හුඟක් අය අපත් සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. අදත් එවැනි සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ සාකච්ඡා සාර්ථකයි. ඉදිරියේදී විශාල පෙරළියක් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ දෙනෙක් හංසයා ලකුණු වටා එක් වෙනවා....”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල ආසනයේ හිටපු සංවිධායක රුවන් රණතුංග මහතාද පැවසුවේ තමන් ඇතුළු විශාල පිරිසක් සජිත් ප්‍රේමදාස මහතා සමඟ අද සිට එක් වූ බවයි. මිනුවන්ගොඩදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ඔහු මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් රණතුංග මහතා...

    “අදත් මම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්. මම අද සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන්නේ අපේ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගන්න ඕන නිසා. දෙවැන්න සජිත් ප්‍රේමදාස කියන්නේ හොරකම් නොකළ, මිනී මරපු නැති කෙනෙක් නිසා. අද අපි අනෙක් අපේක්ෂකය ගැන කථා කරනවා. ඔහුට නෝනගෙයි පුතාගෙයි වත් ඡන්දේ නැහැ.ඊයෙ පෙරේදා වෙනකම් අමෙරිකානු පුරවැසියෙක්. යුද්දෙ තිබ්බ කාලේ මේ රටෙන් පැනල ගියා. යුද්දෙ කළ සරත් ෆොන්සේක මැතිතුමා බල්ලෙක් වගේ ඇදන් ගිහිල්ලා හිර කූඩුවේ දාන කොට අපි හිටියේ කණගාටුවෙන්. ඒ වගේම අපි දැක්කා අග්‍රවිනිශ්චකාරතුමිය එළියට දැම්ම හැටි. එදා මම ආණ්ඩු පක්ෂයේ. නමුත් එම ක්‍රියාදාමයට එරෙහිව මං හැංගිලා හිටියේ ඡන්දය නොදී. නමුත් මාව හැම තැනම හොයලා 116 වෙනියට මගේ අත්සන ගත්තා. මට කෙනෙක් කතා කරලා කිව්වා ඔයා ඕක අත්සන් කරේ නැත්නම් ප්‍රශ්නේ වෙන්නේ ඔයාට නෙමෙයි වෙනත් කෙනෙක්ට කියලා. බය නිසාම මම අත්සන් කළා. දැන් අපි හිතන්න ඕන නැවත වරක් ඒ යුගයට යනවද කියලා. ඒ නිසා තමයි මා ඇතුළුව බොහෝ දෙනෙක් සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන්නට තීරණ කළේ....”යිද එහිදී  කියා සිටියේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 31 ඔක්තෝබර් 2019 15:48

    Latest News