දුම්රිය ගොඩනගන්න යෝධ ව්‍යාපෘති 08ක්: සමස්ත ආයෝජනය කෝටි 2898ක‍් (වීඩියෝ)

අගෝ 19, 2019

    දුම්රිය සේවාවේ යෝධ සංවර්ධනයකට ලක්කරමින් ඉතිහාසයේ ප්‍රථම වතාවට ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 161ක් ලබා දෙයි.

    එම මුදලින් අමෙරිකානු ඩොලර් මිලියනක් ආපසු නොගෙවන ප්‍රදානයක් වේ. ඉතිරි අමෙරිකානු ඩොලර් මිලියන 160 වසර අටක ණය ආපසු ගෙවීමේ සහන සීමාවක් සමඟ සියයට 0.5 (+ LIBOR) ක පොලියකට ලබා දෙයි. මෙම සමස්ත මුදල ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය සහ ආසියානු සංවර්ධන බැංකුව අතර ගිවිසුම් අත්සන් තැබීම හෙට පෙරවරුවේ (20) සිදු කෙරන බවද ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. එතුමා මේ බව පැවසුවේ අද (19) අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි. අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවර්ධන සන්නිවේදන ඒකකය සහ ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය එක්ව එම මාධ්‍ය සාකච්ඡාව කැඳවිණ.

    පොදු ප්‍රවාහනයේදී ආර්ථිකමය වශයෙන් වාසිදායක සහ පරිසර හිතකාමී ප්‍රවාහන සේවය දුම්රිය බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පෙන්වාදුනී.

    “අද බොහෝ අයගේ අවධානය යොමු වෙලා තියෙන්නේ ජනාපතිවරණය ගැන. අරයා එනවද ? මෙයා එනවද කියලා ප්‍රශ්න කරනවා. නමුත් අපේ රටේ ප්‍රවාහන සේවය දියුණු කරන්නේ කොහොමද කියන කරුණට මගෙත් අපේ අමාත්‍යාංශයෙත් අවධානය මූලිකව යොමු වී තිබෙනවා. අද අපි දුම්රිය සේවයේ විශාල සංවර්ධනයක් ඇති කර තිබෙනවා. මාතර - බෙලි අත්ත දුම්රිය මාර්ගය විවෘත කළා. එස් 13 වර්ගයේ දුම්රිය බලවේග කට්ටල 12ක් ඉන්දියාවෙන් ගෙන්වනවා. උඩරට මාර්ගය සඳහාම එස් 14 වර්ගයේ දුම්රිය බලවේග කට්ටල නවයක් චීනයෙන් ගෙන්වනවා. එම් 11 වර්ගයේ එංජින් 10 ඉන්දියාවේ ගෙන්වනවා. ඒ මම කිව්වේ දැනට වන සංවර්ධන කටයුතුවලින් බිඳක් විතරයි. මේ සංවර්ධනය වේගවත් කිරීමට අපට ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබෙන අමෙරිකානු ඩොලර් මිලියන 161ක මුදල වඩාත් වැදගත් බවද මම අවධාරණය කරනවා...”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී කියා සිටියේය.

    ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබෙන අමෙරිකානු ඩොලර් මිලියන 161ක මුදලින් දුම්රිය දෙපාර්තමේන්තුව දියත් කෙරෙන මූලික ව්‍යාපෘති අටකි. දුම්රිය ප්‍රවේශ පත්‍ර සහ ආසන වෙන් කිරීමේ නව පද්ධතිය ස්ථාපිත කිරීම, කොළඹ දුම්රිය පාලන කාර්යාලය සහ දුම්රිය මෙහෙයුම් මූලස්ථානය ඉදි කිරීම, දුම්රිය පුහුණු මධ්‍යස්ථානයක් ඇති කිරීම, කැළණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධන කිරීම සහ ඊට සමගාමීව මාලපල්ල දුම්රිය ස්ථානය අසල නිවාස 108කින් යුත් මහල් නිවාස සංකීර්ණය ඉදි කිරීම, රත්මලාන දුම්රිය යාන්ත්‍රික ඉංජිනේරු උප දෙපාර්තමේන්තුව සඳහා නව කර්මාන්ත ශාලාවක් ගබඩාවක් සහ යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීම, මහනුවර තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සහ කොළඹ මාලිගාවත්ත යටි බිම් මාර්ගය පුළුල් කිරීම එම ව්‍යාපෘති වෙයි.

    2025 වසර වන විට මෙම සියලු ව්‍යාපෘති අවසන් කිරීම ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ අරමුණ බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙම මාධ්‍ය සාකච්ඡාවේදී කියා සිටියේය.

    මාධ්‍ය සාකච්ඡාවට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති, දුම්රිය සාමාන්‍යධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු, ව්‍යාපෘති අධ්‍යක්ෂ පාලිත සමරසිංහ, අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවර්ධන සන්නිවේදන ඒකකයේ අධ්‍යක්ෂ නීතිඥ සුදර්ශන ගුණවර්ධන ඇතුළු නිලධාරීහු රැසක් එක් වූහ.

    Last modified on සදුදා, 19 අගෝස්තු 2019 20:28

    Latest News