රටේ අභ්‍යන්තර කටයුතු වලට විදේශයන්ට ඇඟිලි ගැසීමට කිසිදු ඉඩක් නැහැ: පොලිටිකල් ඩීල් කාරයෙකුත් නොවේ..... සජිත්

ඔක් 27, 2019

    විදේශ රටවලට අප රටේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමට කිසිසේත් ඉඩ නොතබන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
    සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ හෝමාගම පැවති ජන හමුවට ඊයේ (26) එක්වෙමිණි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා.....


    “අපේ මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් ඇප කැප වුණු ෂවේන්ද්‍ර සිල්වා අභීත රණවිරුවාණන්, මම මගේ පනට වඩා ආරක්ෂා කරමින් අපේ රටේ හමුදාපති ලෙස එතුමාව ඉදිරියටත් තබා ගන්න කටයුතු කරනවා. රට දැය වෙනුවෙන් කැප කිරීම් සිදු කළ සෑම රණවිරුවෙක් වෙනුවෙන්ම මම පෙනී සිටිනවා. අපේ රට සිදු කළ යුතු දේ පිළිබඳව පිට රටවල්වලින් උපදෙස් ලබා දෙන්න අවශ්‍යවතාවයක් නැහැ.

    කිසිවෙකුගේ බලපෑම් වලට යටත් වෙන පුද්ගලයෙක් නෙවෙයි මේ සජිත් ප්‍රේමදාස කියන්නේ. මට අපේක්ෂකත්වය ලබාදෙන මොහොතෙත් විවිධ පුද්ගලයින් බලපෑම් කරන්න ආවා. නමුත් මම ඒ මොහොතෙත් ප්‍රකාශ කළේ කොන්දේසි විරහිතව දෙනවා නම් දෙන්න, එහෙම බැරිනම් තියාගන්න කියලා. මම කිසිම බලපෑමකට යටත් වන්නේ නැහැ. මම කිසිම කණ්ඩායමක් සමග පොලිටිකල් ඩීල් දාන පුද්ගලයෙක් නෙවේ. වෙනත් අපේක්ෂකයින් වගේ බලය ලබා ගැනීමට තිබෙන කෑදරකම නිසා රටත්, ජනතාවත් පවා දෙන පුද්ගලයෙක් නෙවෙයි මේ සජිත් ප්‍රේමදාස කියන්නේ.

    අවුරුදු පහක් පමණ රට පාලනය කළ ඔලුගෙඩි ටිකමයි, ඉදිරියටත් රට පාලනය කරන්නේ කියලා, සමහරු ජනතාව නොමග යැවීම සඳහා ප්‍රකාශ නිකුත් කරනවා. මම යන්නේ යල්පැන ගිය ගමනක් කියා කවුරුන් හෝ හිතනවා නම් ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. එහෙම ගමනක් යන්නට මම සූදානම් නැහැ. දූෂණය, වංචාව, කොමිස් ලබා ගැනීම, නාස්තිය, ත්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය ජාවාරම, මිනීමරු සංස්කෘතිය සම්පූර්ණයෙන්ම නතර කරමින් උඩු යටිකුරු කළ විප්ලවයක් ඇති කර පිරිසිදු නායකත්වයක් සහ පිරිසිදු කණ්ඩායමක් සමග පොදු ජනතාවට සාධාරණය සහ සහන හිමිවන දෑත් පිරිසිදු ජනතාවාදී ගමනක් අප ක්‍රියාත්මක කරන්නේ” යනුවෙන් පැවසීය.

    Latest News