ජනාධිපතිවරණය සමයේ පෝස්ටර් ප්‍රදර්ශනය වැළැක්වීමේ නියෝගයක් ඉල්ලූ පෙත්සම 31 විභාගයට

ඔක් 21, 2019

    ජනාධිපතිවරණය සමයේ මංමාවත් හා ප්‍රසිද්ධ ස්ථානවල පෝස්ටර් ,බැනර්, කටවුට් ඇතුළු ප්‍රචාරක ද්‍රව්‍ය ප්‍රදර්ශනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා කල් ලබාදෙන ලෙස නීතිපතිවරයා අද අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ.

    එම පෙත්සම අද ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දූල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ලැබීය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා සඳහන් කර සිටියේ මෙම නඩුවට අදාළව මධ්‍යම පරිසර අධිකාරියෙන් සහ පොලිස්පතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීම සඳහා අවශ්‍ය බවයි. ඒ අනුව පෙත්සම ලබන 31 වැනිදා සලකා බැලීම සඳහා යලි කැඳවීමට අභියාචනාධිකරණය නියම කළේය.

    පරිසර යුක්ති කේන්ද්‍රය විසින් පෙත්සම ඉදිරිපත් කළේය. එහි වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා නම් කර තිබේ. පෙත්සම්කාර සංවිධානය කියා සිටින්නේ ජනාධිපතිවරණ සමයේ අපේක්ෂකයින්ගේ පෝස්ටර්, බැනර්, කටවුට් වැනි ප්‍රචාරක ද්‍රව්‍ය ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය කළ හැක්කේ පිළිගත් නීතිරීතීන්ට අනුකූලව පමණක් බවයි.

    නීතියට පරිබාහිරව ගොස් මෙවැනි ප්‍රචාරක ද්‍රව්‍ය පොදු ස්ථානවල ප්‍රදර්ශනය කිරීම තුලින් විශාල පාරිසරික හානියක් සිදුවිය හැකි බවයි පෙත්සම්කාර සංවිධානය පෙන්වා දෙන්නේ.

    ප්‍රසිද්ධ ස්ථානවල පෝස්ටර්, කටවුට් බැනර් ආදිය ප්‍රදර්ශනය කිරීම තුළින් සිදුවන දෘශ්‍ය දූෂණය වැළැක්වීමට අදාළ මාර්ගෝපදේශ මාලාවක් මධ්‍යම පරිසර අධිකාරිය විසින් මීට පෙර සකස් කර තිබුණද එය මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බවයි පෙත්සම්කාර සංවිධානය චෝදනා කරන්නේ.

    එබැවින් නීතියට පටහැනි ආකාරයට පෝස්ටර්, කටවුට්, බැනර් ඇතුළු ප්‍රචාරණ ද්‍රව්‍ය පොදු ස්ථානවල ප්‍රදර්ශනය කිරීම වැලැක්වීමට පියවර ගන්නා ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කාර සංවිධානය අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

    Last modified on සදුදා, 21 ඔක්තෝබර් 2019 12:06

    Latest News