ඥාණසාර හිමියන්ට යළි නොතීසි

ඔක් 21, 2019

    අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් නොවැම්බර් මස 08 වැනිදා පෙනී සිට කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය විසින් බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු තුන් දෙනෙකු වෙත නොතීසි නිකුත් කළේය.

    මුලතිව් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්තිනි ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් විසින් මෙම නොතිසි නිකුත් කිරීම සිදුකළේය.

    ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින මුලතිව් ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ මුලතිව් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ද අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව පිළිබඳව කරුණු දැක්වීම සඳහා එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද අධිකරණය විසින් සිතාසි නිකුත් කර තිබේ.

    පෙත්සම්කාරිය කියා සිටින්නේ ඉකුත්දා ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන උත්සවය එම විහාර භූමියේ නොපවත්වන ලෙස දන්වමින් මුලතිව් අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් තහනම් නියෝග කර තිබූ බවයි.

    එම තහනම් නියෝගය උල්ලංඝනය කරමින් කටයුතු කිරීම තුළින් බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, මුලතිව් ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ මුලතිව් පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව චෝදනා කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

    Last modified on සදුදා, 21 ඔක්තෝබර් 2019 12:25

    Latest News