කොටකෙතන මව - දියණිය ඝාතනයේ විත්තිකරුට මරණීය දණ්ඩනය

ඔක් 15, 2019

    2012 වසරේ කහවත්ත, කොටකෙතන ප්‍රදේශයේ මවක් සහ දියණියක් පිහියෙන් ඇන අමානුෂික ලෙස මරා දැමීමේ චෝදනාවට වරදකරු කෙරුණු ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජු නැමැත්තෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද මරණීය දණ්ඩනය නියම කළේය.

    දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කර සිටියේ විත්තිකරුට එරෙහිව ඉදිරිපත්කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවයි.

    ඒ අනුව පිටු දෙසීය විසි එකකින් යුත් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව මරණීය දණ්ඩනය පනවන බව ප්‍රකාශ කළේය.

    2012 වසරේ ජනවාරි මස 31 වනදා රත්නපුර, කොටකෙතන ප්‍රදේශයේ පිහිටි පන්සල පාරේ දී නයනා නිල්මිණි (අවුරුදු 52)සහ ඇයගේ දියණිය වන කාවින්ද්‍යා චතුරංගි සෙල්ලහේවා (අවුරුදු 17 ) යන අය මරා දැමීම සම්බන්ධයෙන් ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජු සහ ඔහුගේ බිරිඳ වන අශෝකා චාන්දනී කුමාරි හෙවත් බට්ටි යන අයට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබිණ.

    චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති හෙයින් මෙම නඩුවේ දෙවන විත්තිකාරිය ලෙස නම්කර තිබූ අශෝකා චාන්දනී කුමාරි හෙවත් බට්ටි නමැත්තිය නිදොස් කොට නිදහස් කිරීමට ද මහාධිකරණ විනිසුරුවරයා මීට පෙර නියෝග කර තිබිණ.

    Last modified on අඟහරුවාදා, 15 ඔක්තෝබර් 2019 12:06

    Latest News