ජනතාවට බොරු බෙදන පොහොට්ටුවේ ෆේක් නිව්ස් ෆැක්ටරියෙහි සැලසුම් එළියට

ඔක් 15, 2019

    ව්‍යාජ තොරතුරු ජනගත කිරීමට නැ‍ඟෙනහිර යුරෝපයෙන් තාක්ෂණය ලබාගෙන කෝටිපති ව්‍යාපාරිකයකු හා පොහොට්ටුවේ දේශපාලනඥයකු ක්‍රියා කරන බවට තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා පැවසීය.

    මෙම කෝටිපති ව්‍යාපාරිකයා ගෝඨාභය රාජපක්ෂ මහතා නිසා කෝටිපතියකු වූ අයකු බවත් ඇමැතිවරයා සිහිපත් කළේය.

    මෙම දෙදෙනාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන ෆේක් නිව්ස් ෆැක්ටරියෙහි දේශපාලනඥයාගේ මඟපෙන්වීමෙන් ක්‍රියා කරන පුද්ගලයාත් හඳුනාගෙන තිබෙන බව කී ඇමැතිවරයා යුද හමුදාපති හා සම්බන්ධ මැතිවරණ දැන්වීම සහ අලින්ගේ ඝාතනය දේශපාලනයට ඈඳීම මෙම ව්‍යාජ ප්‍රවෘත්ති කම්හලේ ව්‍යාජ නිපැයුම් බවත් අවධාරණය කළේය.

    මෙම ව්‍යාජ ප්‍රවෘත්ති පිළිනොගන්නා ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක් කළ ඇමැතිවරයා, මෙම ව්‍යාජ ප්‍රවෘත්ති සම්බන්ධව දීර්ඝව කරුණු සොයා බැලීමක් සිදු කරගෙන යන බවත් ඊට අදාළව ඉදිරියේදී පියවර ගන්නා බවත් සඳහන් කළේය. ඇමැති මංගල සමරවීර මහතා මේ බව පැවසුවේ වොක්ෂෝල් වීදියේ එක්සත් ජාතික පෙරමුණ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේ ඊයේ (14) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.

    Latest News