මංගල සමරවීර මහතාගේ පළවැනි ගුණසමරුව අද

අගෝ 24, 2022

    රැඩිකල් මතවාදයක් ශ්‍රී ලාංකීය දේශපාලනයට හඳුන්වා දුන් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පළවැනි ගුණසමරුව අදට යෙදී තිබෙනවා.  දශක තුනකට අධික කාලයක් මැති සබය නියෝජනය කළ සමරවීර මහතා, මෙරට දේශපාලනයේ පෙරලිකාර චරිතයක්. 

    1989 මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මාතර දිස්ත්‍රික්කයට තරග වැදුනු සමරවීර මහතා, එතැන් සිට 2020 දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළා.  1994 පෙරළකාර ජයග්‍රහණයකට නැවුම් ප්‍රචාරණ ක්‍රමයක් හඳුන්වා දෙමින් මෙරට මැතිවරණ ව්‍යාපාරය නව මානයකට රැගෙන ගිගේ සමරවීර මහතායි.   

     ජනමාධ්‍ය, නාගරික සංවර්ධන, වරාය, සිවිල් ගුවන් සේවා, මුදල්, විදේශ කටයුතු යන අමාත්‍ය ධුර රැසක වගකීම් දැරූ සමරවීර මහතා ඒ සෑම අමාත්‍යාංශයකම කැපී පෙනෙන වෙනසක් සිදු කිරීමට උත්සහ කළා. 

     චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමියගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වූ සුදු නෙළුම, තවලම, වැනි සංහිඳියා වැඩසටහන් ක්‍රියාත්මක කරමින්, දශක ගණනාවක සිට පැවති ජාතීන් අතර විරසකය තුරන් කිරීමට ඔහු ක්‍රියා කළා. 

     2004 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන නිර්මාණය කිරීමට සමරවීර මහතාගෙන් ඉටු වූයේ ඉමහත් කාර්යභාරයක්.  එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අතර, අතීතයේ සිට තිබූ නොගැලපීම් කළමණාකරනය කිරීමට ඔහුට මහත් වෙහෙසක් දැරීමට සිදු වුණා.                      

    2005 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්ධ සහය  හිමි වෙද්දී, මැතිවරණ මෙහෙයුම් කමිටු නිර්මාණය කරමින් ජනාධිපතිවරණ ජයග්‍රහණයට උර දුන්නේද සමරවීර මහතායි.

    තමන් නිර්මාණය කළ දේශපාලන ව්‍යාපාරය 2007 වසරේදී තමන්ට අහිමි වෙද්දී නව දේශපාලන සංස්කෘතියක් සහිත වේදිකාවක් ජනතාව වෙනුවෙන් නිර්මාණය කිරීමට ඔහු පසුබට වූයේ නැහැ.

     2015 වසරේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කිරීම වෙනුවෙන් ඇරඹි ප්‍රචාරක ව්‍යාපාරයට නායකත්වය දුන්නේද සමරවීර මහතායි.  අනතුරුව බලයට පත් යහපාලන රජයේ බාරදූර අමාත්‍යාංශ රැසක වගකීම ඔහුට පැවරුණා. 

    ලාංකීය දේශපාලනයට නව මාධ්‍ය කලාවක් දායාද කළ ඔහු, සමාජ මාධ්‍යයන්හි පුවත් මවන්නෙකු බවට පත් වුණා.  තම දිස්ත්‍රික්කයේ සංවර්ධනය පමණක් නොව, සමස්ත රටේම සංවර්ධනය ඔහුගේ මූලික ඉලක්කයක්.  වසර ගණනාවක් භීෂණය වෙලාගෙන සිටි නිල්වලා මිටියාවතේ දහස් ගණනක් තරුණයන්ට විවෘත මනසකින් සමාජය දෙස බැලීමට මග පෑදූ ඔහු ප්‍රතාපවත් චරිතයක්. 

    රජුන් තැනීමේ බලය සිය දෙවුර මත රඳවාගත් ඔහු එය, ලාංකීය දේශපාලනයේ හෙට දවස අලංකාර කිරීමට දැරූ වෙහෙස අපරිමිතයි. 

    සැමදා ඔහු දේශපාලනයේ තරුණ මතවාද දැරූ අතර, මෙරට සමාජ ආර්ථික වෙනසක් උදෙසා සිය දේශපාලන විඥානය මෙහෙයවූ ඔහු, ඉතිහාසයට එක්වන්නේ කෘතහස්ත ජනතා නියෝජිතයෙකු ලෙසයි.

    Latest News