රටේ හෙට දවස වෙනුවෙන් අවශ්‍ය දූෂණයෙන් තොර ජනතාවාදී රාජ්‍ය පාලනයක්: ජනපති පවසයි (වීඩියෝ)

ඔක් 05, 2019

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය උත්සාහ කරන්නේ තමන් වෙනුවෙන් නොව රට වෙනුවෙන් දේශපාලනය කරන බහුතරයක් රටේ ජනතා සේවකයන් ලෙස ලබාදීමට බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (05) පස්වරුවේ ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණයේ දී පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ගාල්ල දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

    ඥාති සහ හිතමිත‍්‍ර සබඳතා මත දූෂණයට ඉඩ තැබීම තම දේශපාලන ප‍්‍රතිපත්තිය නොවන බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා කියා සිටියේ රටේ හෙට දවස වෙනුවෙන් අවශ්‍ය දූෂණයෙන් තොර ජනතාවාදී රාජ්‍ය පාලනයක් බවයි.

    තම පස් වසරක පාලන කාලය තුළ දූෂණය සහ වංචාව මැඩැලීමට ගත හැකි සෑම පියවරක්ම ගත් බව මෙහිදී පැවසු ජනාධිපතිතුමා පැවති රජයේ මෙන්ම පවතින රජයේ ද වංචා දූෂණ සොයා බැලීමට ජනාධිපති කොමිෂන් සභා පත් කළ එකම ජනාධිපතිවරයා තමා බව ද කියා සිටියේය.

    එමෙන්ම මීට පෙර සිටි සියලූ ජනාධිපතිවරුන්ට තිබූ චෝදනාවන් වන මිනිස් ඝාතන, පෞද්ගලික දේපළවලට හානි කිරීම් හා දේශපාලන පළිගැනීම් පිළිබඳ ඒකම චෝදනාවක් තමාට නොමැති බව පැවසූ ජනාධිපතිතුමා කියා සිටියේ මෙම නොවැම්බර් මැද භාගය වන විට තමා ජනාධිපති ධූරයේ නිල කාලය අවසන් කර ඊළග පියවර තබන්නේ මීට පෙර සිටි ජනාධිපතිවරුන්ට තිබූ එම චෝදනා ලැයිස්තුවෙන් එකම චෝදනාවක්වත් නොමැති පිරිසිදු දේශපාලනඥයෙකු ලෙස බවයි.

    ලබන 11 වනදා පැවැත්වෙන ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයේ දී පිරිසිදු සහ නිවැරදි දේශපාලඥයන් පිරිසක් තෝරා පත් කර ගැනීමේ වැදගත්කම ද මෙහිදී ජනාධිපතිතුමා එම ජනතාවට පෙන්වා දුන්නේ ය.

    “තීන්දුව හරි අතට” තේමාව යටතේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දීප ව්‍යාප්තව පවත්වන සමුළු මාලාවේ ගාල්ල දිස්ත්‍රික් සමුළුව පාක්ෂිකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා, මහලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, වීරකුමාර දිසානායක, දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ශාන් විජයලාල් ද සිල්වා, ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, ඇල්පිටිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක අමිල කාරියවසම් යන මහත්වරුන් ඇතුළු ප‍්‍රදේශයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරිහු මිට එක්ව සිටියහ.

    Last modified on සෙනසුරාදා, 05 ඔක්තෝබර් 2019 20:18

    Latest News