එජාපයට අවශ්‍ය වන්නේ ජයග්‍රහණයක් නොවෙයි, විජයග්‍රහණයක් - රවී

ඔක් 01, 2019

    එජාපයට අවශ්‍ය වන්නේ ජයග්‍රහණයක් නොවෙයි, විජයග්‍රහණයක් බවත්, රටෙහි ගිලිහී යමින් තිබුණු ප්‍රජාතන්ත්‍රවාදය යළි ආරක්ෂා කිරීම එජාපය කළ වැදගත්ම දෙය බවත් අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, ඊයේ (30) සිරිකොත මන්දීරයේදී පැවති එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක සහ දිස්ත්‍රික් කළමණාකරුවන්ගේ හමුවකට සහභාගි වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා....

    "සමහරු අහනවා එක්සත් ජාතික පක්ෂය මොනවද කළේ කියලා. අපේ පක්ෂය කළ වැදගත්ම දේ තමයි රටෙන් ගිලහී යමින් තිබුණ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරපු එක. ඒ වගේම රට හරි මගට ගෙනැවිත්, එක් ප්‍රදේශයකට, දිස්ත්‍රික්කයකට සීමාවෙලා තිබුණ සංවර්ධනය රටේ සෑම කොනකටම සමසේ ව්‍යාප්ත කරන්න අපිට හැකිවුණා. අපට ඉදිරියටත් අවශ්‍ය වන්නේ ජනතා වරම තුළින් තවත් වසර 20 ක් එක්සත් ජාතික පක්ෂය සහ පෙරමුණ ඉතාමත් ශක්තිමත් භාවයෙන් ජනතා සුබසාධනය වෙනුවෙන් ඉදිරියට රැගෙන යාමටයි"

    "අද එ.ජා.ප.යට සතුටු වියහැකියි. අද පක්ෂයක් හැටියට අපි සියලු දෙනාටම අත්වැල් බැදගෙන කටයුතු කරන්න පුළුවන් තත්ත්වයක් උදාවෙලා තිබෙනවා. ප්‍රතිවිරුද්ධ කණ්ඩායම්වල පිරිස් බලාගෙන හිටියේ පක්ෂයේ කැඩී බිදී යාමක්. අපේක්ෂකයෝ දෙන්නෙක් තුන්දෙනෙක් ඉදිරිපත් වෙයි කියලා තමයි ඔවුන් සිතාගෙන සිටියේ. නමුත් අපේ නායකතුමා ඇතුළු පක්ෂයේ නියෝජිතයන්ට ඒකරාශිවෙලා ඒ හැගීම නිෂ්ප්‍රභා කරන්න හැකිවුණා. කොතරම් අභියෝග තිබුණත්, හරි වෙලාවට එකතු වෙලා ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීම තමයි අපේ පක්ෂයේ තිබෙන ලොකුම ශක්තිය.

    "අපට දැන් තියෙන්නේ කතාව නෙමෙයි. වැඩ කිරීමයි. අපේ පක්ෂය බෙදී සිටිය අවස්ථාවල අපි පරාජය වුණා. එකට වැඩකළ අවස්ථාවල අපිට විශිෂ්ඨ ජයක් ලැබුණා. ඒ නිසා දැන් අපි කටයුතු කළ යුත්තේ ජනතාව අතරට ගොස් විශිෂ්ඨ ජයක් ලබාගැනීමයි. අපි හිතන්න හොද නැහැ අපි ජයග්‍රහණය කළා කියලා. අපට අවශ්‍ය වන්නේ ජයග්‍රහණයක් නොවෙයි, විජයග්‍රහණයක්. ඒ වෙනුවෙන් අපි ගෙයින් ගෙට ගොස්, ජනතාව හමුවිය යුතුයි."

    "අපට සිටින්නේ ඡන්ද දායකයො ලක්ෂ 162 ක්. ඒකෙන් 78% ක් සාමාන්‍ය වශයෙන් ඡන්දය දානවනම්, අපට ලබාගන්න තියෙන්නේ ලක්ෂ 65ක ඡන්ද ප්‍රමාණයක්. ඒ වෙනුවෙන් අපි ලොකු කැපවීමක් කළ යුතුයි. ඔක්තෝබර් 03 දා පක්ෂ සම්මේලනයෙන් පසුව ඔක්තෝබර් 10 දා අපේ දැවැන්තම රැස්වීම පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් අපි විජයග්‍රහණයේ ගමන ආරම්භ කරනවා"යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතා අවධාරණය කළේය.

    Latest News