රවී කරුණානායකට එරෙහි බැඳුම්කර නඩුවක් විභාගයට දින නියම වෙයි

ඔක් 25, 2021

    2016 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරනු ලැබූ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 15 ක් වටිනා බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධි සාවද්‍ය පරිහරණය සිදු කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව දෙසැම්බර් මස 6 වන දා විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කළා.

    නඩුවේ සාක්ෂි කරුවන් වශයෙන් නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල ඇතුළු සාක්ෂිකරුවන් පස් දෙනෙකුට එදින සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් සිතාසි ද නිකුත් කළා.

    මෙම නඩුව අද අමල් රණරාජා, නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය කෙරුණා.

    මෙම නඩුව අද කැඳවු ලැබූ අවස්ථාවේදී නඩුවේ 10 වන විත්තිකරු වශයෙන් නම් කර සිටින ඉන්දික සමන් කුමාර නමැත්තා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයාට අදාළ විත්තිවාචකය ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සතුව තිබෙන ලේඛන 25ක් තමන් වෙත ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති අංශයේ අධ්‍යක්ෂවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියා.

    එම ඉල්ලීමට විරෝධය පළ කළ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනෙවිය විත්තිකරු විසින් ඉල්ලා සිටිනු ලබන ලේඛන මෙම නඩුවට අදාළ විමර්ශනවලට පාදක නොවූ බව කියා සිටියා.

    එබැවින් අදාළ ලේඛන ලබාදීමට හැකියාවක් නොමැති බවයි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ වරිය සඳහන් කළේ.

    කෙසේ වෙතත් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ අමල් රණරාජා සහ නාමල් බලල්ලේ යන බහුතර විනිසුරුවරු තීන්දු කළා.

    ත්‍රි පුද්ගල විනිසුරු මඬුල්ලේ සාමාජික විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සිය නියෝගය දෙමින් සඳහන් කළේ විත්තිය විසින් ඉල්ලා සිටින ලේඛන ඔවුන් වෙත ලබා දීමට කටයුතු කළ යුතු බවයි.

    අනතුරුව මෙම නඩුවේ සාක්ෂි විභාගය දෙසැම්බර් මස 6 වනදා සිට 10 දක්වා පැවැත්වීමට ද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දින නියම කළා.

    2016 වසරේ මාර්තු මස 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින්ව පැවැත්වූ බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් බිලියන 15 ක් වටිනා බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

    Latest News