රවී කරුණානායකට එරෙහි නඩුවේ මූලික විරෝධතා ගොනු කිරීමට දින දෙයි

ඔක් 27, 2021

    2016 වසරේ මාර්තු මස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරනු ලැබූ බැඳුම්කර වෙන්දේසියකදී අඩු ලංසු ඉදිරිපත් කරන ලෙස රාජ්‍ය බැංකුවලට බලපෑම් කිරීම තුළින් රුපියල් බිලියන 35 ක් වටිනා බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අධිචෝදනා පත්‍රය නීතිවිරධී බව සඳහන් කරමින් ඉදිරිපත් වී ඇති මූලික විරෝධතා පිළිබඳ විභාගය නොවැම්බර් මස 19 වනදා සිදු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා.

    මෙම නඩුව අද දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී නඩුවේ 10 වන විත්තිකරු වශයෙන් නම් කර සිටින ඉන්දික සමන් කුමාර නමැත්තා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන අධිචෝදනා පත්‍රය පවත්වාගෙන යාමට නොහැකි බවත් එය ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා මූලික විරෝධතා මතු කිරීමට අපේක්ෂා කරන බවත් දැනුම් දුන්නා.

    සිය සේවාදායකයාට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා එල්ල කර ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥ මෙන්ඩිස් මහතා එම පනත යටතේ අදාළ චෝදනා පවත්වාගෙන යාමට නීතිමය හැකියාවක් නොමැති බවත් තර්ක කළා

    ඒ අනුව එම මූලික විරෝධතා පිළිබඳව කරුණු දැක්වීම් නොවැම්බර් මස 19 වනදා සිදු කරන ලෙස විත්තියේ නීතිඥවරයාට නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සෙසු විත්තිකරුවන් ද චෝදනා පත්‍රයට අදාළව මූලික විරෝධතා ඉදිරිපත් කරන්නේ නම් එදින කරුණු දක්වන ලෙසයි නියෝග කළේ.

    විත්තිය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මූලික විරෝධතා පිළිබඳව කල් වේලා ඇතිව පැමිණිලි පාර්ශවය දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසද විනිසුරු මඩුල්ල විසින් මෙහිදී විත්තියේ නීතිඥවරුන්ට දැනුම් දුන්නා.

    නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළව පැමිණිල්ල විසින් ඉදිරිපත් කිරීමට නියමිත පරිගණක සාක්ෂි අන්තර් ගත ලේඛනයක් අධිකරණයට ඉදිරිපත් කළා.

    එම පරිගණක සාක්ෂි පිළිබඳව පරීක්ෂා කිරීමට විත්ති පාර්ශ්වයට හිමිකමක් තිබෙන බව සඳහන් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු දමිත් තොටවත්ත මහතා මෙම පරීක්ෂාවන් සිදු කිරීම සඳහා විත්තිකරුවන් විසින් ඉල්ලීම් කළ දින සිට දින 15 ක් ඇතුළත එම සාක්ෂි පරික්ෂා කිරීම සඳහා පැමිණිල්ල විසින් විත්තියේ නීතිඥවරුන්ට පහසුකම් සලසා දිය යුතු බවත් දන්වා සිටියා.

    අනතුරුව නඩුවේ මූලික විරෝධතා පිළිබඳ විභාගය නොවැම්බර් මස 19 වනදා කැඳවීමට ද නියම වුණා.

    2016 වසරේ මාර්තු මස 29 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරනු ලැබූ බැඳුම්කර වෙන්දේසියකදී අඩු ලංසු ඉදිරිපත් කරන ලෙස රාජ්‍ය බැංකුවලට බලපෑම් කිරීම තුළින් රුපියල් බිලියන 35 ක් වටිනා බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පොදු දේපළ පනත යටතේ මෙම නඩුව ගොනු කර තිබෙනවා.

    Latest News