Update: අත්අඩංගුවට ගත් පූජිත් ජයසුන්දරට ඇප (වීඩියෝ)

ඔක් 01, 2019

    Update: පොලිස් මූලස්ථානයේ විදුලිය සෝපාන ක්‍රියාකරුට බැණ තර්ජනය කර පහරදීමට තැත් කළ බව කියන සිද්ධියට අධිකරණයට ඉදිරිපත් කළ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.

    එම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට පොලිස්පතිවරයා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් කරුණු ඉදිරිපත් නොවන බව පවසමින් මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය සිදු කර තිබේ.

    සිද්ධිය 2017 වසරේ සිදූව ඇති බවත් වසර දෙක හමාරක් සිද්ධියට ගත වී ඇති බවත් අධිකරණයට දන්වා සිටි පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ මහතා ඔහුට ඇප ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    පහරදුන් බවත් බැණ තර්ජනය කළ බවත් කියන සිද්ධියේ සීසීටීවී දර්ශන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ගෙන් සාක්ෂි සටහන් කර ඇති බවත් දක්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු පොලිස්පතිවරයා ගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවත් සීසීටීවී දර්ශන පෙන්වා සිටි බවත් කියා සිටි අතර එහිදී හිටපු පොලිස්පතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කළ බවත් කියා සිටියේය.

    ඉකුත් 2017 වසරේ අප්‍රේල් මස 11 වනදා සෝපාන අංක එක ක්‍රියාකරුව සිටි රාගම පදිංචි ඒ.එච්. සමරකෝන් බණ්ඩා නිලධාරියාට පහරදීමට තැත් කරමින් පරුෂ වචනයෙන් බැණ තර්ජනය කළ බවට අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව 2019.06.02 වැඩබලන පොලිස්පති වික්‍රමරත්න මහතා වෙත එම නිලධාරියා සිදු කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කර තිබේ.

    පූජිත් ජයසුන්දර CID අත්අඩංගුවට - (12:48)

    දැනට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පිත පුජිත් ජයසුන්දර මහතා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.

    2017 වර්ෂයේ පොලිස් මූලස්ථානයේ දී විදුලි සෝපාන ක්‍රියාකරුට එරෙහි සාපරාධී බියවැද්දීමේ චෝදනාව මත පූජිත් ජයසුන්දර මහතා අත්අඩංගුවට ගත් බවයි, පොලිස් මූලස්ථානය සඳහන් කළේ. මේ වන විට පූජිත් ජයසුන්දර මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    Last modified on අඟහරුවාදා, 01 ඔක්තෝබර් 2019 20:41

    Latest News