ගෝඨාභයගේ මැදමුලන නඩුවේ සාක්ෂි විභාගයට තිබූ තහනම දීර්ඝ කෙරේ

ඔක් 01, 2019

    හම්බන්තොට, මැදමුලන, ඩී .ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ දී රුපියල් මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාග කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ලබන 14 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

    ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් අද එල්.ටී.බී දෙහිදෙණිය, එස්. තුරේයිරාජා සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.

    එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය ඔක්තෝබර් මස 11 වන දා සිදුකිරීමට නියම කළේය.

    ඒ අනුව කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවමින් පනවා තිබෙන තහනම් නියෝගය ඔක්තෝබර් මස 14 වනදා දක්වා දීර්ඝ කිරීමටයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් තීන්දු කළේ.

    මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව ඔක්තෝම්බර් 15 වනදා සිට දිනපතා විභාගයට ගැනීමට ද නියමිතව තිබෙනවා.

    ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබේන පෙත්සමෙන් සඳහන් කර තිබෙන්නේ තමන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ගොනුකර තිබෙන නඩුව විභාග කිරීමට එම අධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් එම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ බවයි.

    එම මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීමේ තීරණය වැරදි සහගත බව සඳහන් කරමින් තමන් විසින් අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළත් එයද ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළ බවයි ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පෙත්සමෙන් පෙන්වා දී  තිබේ.

    එබැවින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ සහ අභියාචනාධිකරණය විසින් දී ඇති තීන්දු ප්‍රතිශෝධනය කර තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව විභාග කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනුකර ඇති පෙත්සමෙන් ඉල්ලා තිබේ.

    Last modified on අඟහරුවාදා, 01 ඔක්තෝබර් 2019 12:21

    Latest News