ඇමති සජිත්: ජාතික ආරක්ෂාව සහ සංහිඳියාව ශක්තිමත් කිරීමෙන් නූතන ත්‍රස්තවාදය විනාශ කළ හැකි

සැප් 30, 2019

    ජාතික ආරක්ෂාව මෙන්ම සංහිඳියාව ශක්තිමත් කිරීම තුළින් නූතන ත්‍රස්තවාදී බලවේග විනාශ කළ හැකි බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    එක්සත් ජාතික පක්‍ෂ යේ ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් වෙනුවෙන් සංවිධාන කළ වැඩසටහන් සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ දී අද (30) පැවැත්විණ.

    ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. එක්සත් ජාතික පක්‍ෂය සමඟ සන්ධාන ගතවී ඇති පක්‍ෂ නායකයින් ද මේ අවස්ථාවට සහභාගි වූහ.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා....

    “කුමන මතිමතාන්තර දැරුවත් අද අපි පක්ෂයක් හැටියට, පෙරමුණක් හැටියට අත්වැල් බැඳගෙන එක අරමුණක් කරා යන එක ගමනක් බවට නිර්මාණය වෙලා තියෙනවා. විශේෂයෙන්ම එතුමා මේ හැම ප්‍රශ්නයක්ම හොයලා බලලා, මගේ නම කෘත්‍යාධිකාරි මණ්ඩලයේ එතුමාම යෝජනා කිරීම මේ එකමුතුභාවයට දැවැන්ත ශක්තියක් වුණැයි කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න ඕනේ. කාන්තා, තරුණ ප්‍රඥප්ති පාර්ලිමේන්තු අනපනත් යටතේ කෙටුම්පත් කරලා ක්‍රියාත්මක කරන්නට කටයුතු කළා. මේ රටේ ජාතික ආරක්‍ෂාව සුරක්‍ෂා කරන්නට, ශක්තිමත් කරන්නට අපි හැම විටම කටයුතු කරනවා. රට, දැය ආරක්ෂා කරපු විරෝධාර රණවිරුවන් අභිමානවත් ලෙස රාජකාරි කිරීමේ ඉඩ ප්‍රස්ථාව අපි නිර්මාණය කළා. ජාතික ආරක්‍ෂාව සුරක්‍ෂා කරන්නට නම් නූතන අභියෝග හඳුනාගත යුතුයි. ඒ සඳහා ක්‍රමෝපායන් සහ නවීන ක්‍රමවේද අනුගමනය කළ යුතුයි. රටේ ජීවත්වන සෑම ජන කොට්ඨාසයකටම සෑම ආගමකට, ජාතියකට සම්බන්ධ සියලු දෙනා ඒ අය සුරක්‍ෂා කරමින් අපි සමාජ ආරක්ෂාවත්, දේශපාලන ආරක්ෂාවත් ලබාදෙන්නට ඕනේ. අපේ රට කඩන්නට, රට බෙදන්නට, රට කොටස් කරන්නට, රට තුළ නූතන ත්‍රස්තවාදයක් තුළින් විනාශ කරන්නට උත්සාහ දරන ඒ සියලුම බලවේග අපිට විනාශ කරන්නට අවස්ථාව ලැබෙනවා. 24 පැය 365 දවසම ජන විඥාණය අවබෝධ කරගෙන ප්‍රායෝගික සැපයුම ලබාදීම නීති රාමුව තුළ අපේ වගකීම. මේ අලුත් ගමන අපි එකතු වෙලා ඓතිහාසික වාර්තාගත නව ආණ්ඩුවක් අපි අපේ මාතෘ භූමියේ බිහිකරමුයි කියලා යෝජනා කරන බව“ සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    Last modified on සදුදා, 30 සැප්තැම්බර් 2019 20:46

    Latest News