තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද මැදියමෙන් අවසන්

සැප් 30, 2019

    මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයඳුම්පත් භාරගැනීම අද (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.

    ඔක්තෝබර් 30 හා 31 යන දෙදින තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම මැතිවරණ කොමිෂන් සභාව විසින් දින නියම කෙරුණි. එමෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ හා මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා නොවැම්බර් මස 01 වැනිදා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා දින නියම කෙරිණ.

    2019 ඡන්ද හිමි නාමලේඛනයේ තමන්ගේ නම ඇතුළත් වී ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයා බලන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. www.elections.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1919 අංකයට දුරකථන ඇමතුමක් ලබාදීමෙන් හා තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගෙන් ඕනෑම අයෙකුට ඡන්ද හිමි නාමලේඛනයේ තොරතුරු ලබාගත හැකියි.

    ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් නොමැති පුද්ගලයෙකු සිටීනම් ලබන 19 වැනිදාට පෙර ඒ පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කළ හැකි බව ද පසුගියදා මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේය.
    2019 ජනාධිපතිවරණය නොවැම්බර් 16 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.අපේක්ෂකයන්ගේ නාමයෝජනා භාර ගැනීම ඔක්තෝබර් 07 වැනිදා පෙරවරු 09.00 සිට පෙරවරු 11.00 දක්වා සිදු කිරිමට නියමිතයි.

    මෙවර පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ 08 වන ජනාධිපතිවරණයයි. පසුගිය ජනාධිපතිවරණය 2015 ජනවාරි 08 වැනි දින පවත්වනු ලැබිණ. ජනාධිපතිවරයෙකුගේ නිළ කාලසීමාව වසර 6කට සීමාව තිබූ අතර, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එය වසර 05 දක්වා අඩු කෙරිණ.  ඒ අනුව මේ වසරේ නොවැම්බර් 16 වැනිදා 08 වන ජනාධිපතිවරණය පැවැත්වේ.

    Last modified on සදුදා, 30 සැප්තැම්බර් 2019 09:54

    Latest News