රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පලාත් පාලන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ජනාධිපතිවරයාට හා කතානායකවරයා වෙත යොමු කරන බව අද නිවේදනය කළා.
එම පෙත්සම් පුරා දින දෙකක් තිස්සේ යසන්ත කෝදාගොඩ ,ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග කෙරුණා.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් මහතා ඇතුළු පාර්ෂව හතරක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර තිබුණේ කල් දමා තිබෙන පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වන විට බාරගෙන තිබෙන නාම යෝජනා පත්‍ර අවලංගු කොට අලුතෙන් නාම යෝජනා පත්‍ර කැඳවීමේ අරමුණින් රජය විසින් යෝජිත පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බවයි.
මේ තුළින් එම ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින්ට දැඩි අසාධාරණයක් සිදුවන බව එම නීතිඥවරු පෙන්වා දුන්නා.
ඒ අනුව එම පනත් කෙටුම් පතේ ඇතැම් වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් ඒවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් එම නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා තිබුණා.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්රන් මහතා කරුණු දක්වමින් යෝජිත පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේ අරමුණ වන්නේ පළාත් පාලන ඡන්ද විමසීම් පනතේ තිබෙන අඩුපාඩු මගහැර නව ඡන්දදායකයන්ට අවස්ථාව ලබා දී ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම බවයි.
මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති වලින් කිසිදු ආකාරයක මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු නොවන බවත් ඒ අනුව අදාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ සඳහන් කළා.
ඒ අනුව පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.