ජනපති සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් අතර හමුවක්

සැප් 27, 2019

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් අතර හමුවක් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    පොලිස් දෙපාර්තමේන්තුවේ දීර්ඝකාලීන ගැටලූවලට විසඳුම් ලබාදෙමින් ගුණාත්මක පොලිස් සේවාවක් වෙනුවෙන් ජනාධිපතිතුමා විසින් මෙම හමුව මාසිකව කැඳවනු ලබයි. පසුගිය සාකච්ඡාවේ දී ගනු ලැබූ තීරණවල ප‍්‍රගතිය මෙහිදී විමසා බැලිනි.

    නිලධාරින්ගේ සෞඛ්‍ය තත්ත්වය පරික්ෂා කිරීමේ වැඩසටහන් සඳහා ප‍්‍රමුඛතාවය මත ප‍්‍රතිපාදන වෙන් කර ගැනීම, පොලිස් රෝහල්වල පවතින වෛද්‍යවරුන්ගේ හිඟය මග හැරවීමට කඩිනමින් වෛද්‍යවරුන් ලබා ගැනීම සහ ශ‍්‍රී ලංකා පොලිස් විධායක ශ්‍රේණියේ නිලධාරින්ගේ වැටුප් හා ශ්‍රේණිගත කිරිම් විෂමතා ඉවත් කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

    නවීන තාක්ෂණය භාවිතයෙන් කප්පම් ගැනීම පාලනය කිරීම සහ බන්ධනාගාර තුළ ජංගම දුරකථන භාවිතය වැළැක්වීමට ගෙන යන වැඩපිළිවෙළේ ප‍්‍රගතිය ද සාකච්ඡාවට ලක් විය.

    දිවයින වටා මුහුදු සීමාවේ අනතුරුදායක ස්ථාන සමීපව පිහිටා ඇති සංචාරක හෝටල් ආශ්‍රීත මුහුදේ ගිලීම් මගින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳව අවධානය යොමු විය. වැඩබලන පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න මහතා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු, නියෝජ්‍ය පොලිස්පතිවරු ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම හමුවට එක්ව සිටියහ.

    Latest News