රාජ්‍ය සේවක වැටුප් විෂමතා විසඳුමෙන් දුම්රිය සේවක ගැටළුවටත් විසඳුම්

සැප් 26, 2019

    ජනාධිපතිතුමා විසින් පත්කරන ලද විශේෂ වැටුප් කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ පරිදි සියලු රාජ්‍ය සේවකයන්ගේ මාසික වැටුප 2020 ජනවාරියේ සිට ක්‍රියාත්මක වන පරිදි අවමය රු. 3,000 කින්ද උපරිමය රු. 24,000 කින්ද වැඩිවනු ඇත. මෙම වැඩිවීම සිදුකරනුයේ සියලු නිලධාරීන්ගේ වැටුප් 2020 ජනවාරි වනවිට, 2015 වසරේ පැවැති ආරම්භක වැටුපට සාපේක්ෂව උපරිම වශයෙන් 107% ක් දක්වා වූ ප්‍රතිශතයකින් වැඩිකිරීමට අමතරවයි.

    මෙයට අමතරව මෙම නව වැටුප් වැඩිවීම හේතුවෙන් රාජ්‍ය අංශයේ විවිධ ක්ෂේත්‍රයන්හි තිබූ වැටුප් විෂමතාද ඉවත් වනු ඇත. වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට එස්. රනුග්ගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පහළොස් දෙනෙකුගෙන් සමන්විත වැටුප් සමාලෝචන කොමිසමක් ජනාධිපතිතුමා විසින් පත්කර තිබුණි.

    මෙහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය අංශයේ සියලු සේවකයන්ගේ වැටුප් 2020 ජනවාරි මස සිට තවදුරටත් වැඩිවන අතර, විශේෂයෙන් දුම්රිය හා තැපැල් සේවාවන්ද ඇතුළුව වැටුප් විෂමතාවක් රාජ්‍ය අංශයේ පවතින්නේ නම් එය මුළුමනින්ම ඉවත්වනු ඇත.

    දුම්රිය සේවයේ වැටුප් විෂමතා ඉවත් කරනු වස් දුම්රිය තාක්ෂණික සේවයට අයත් දුම්රිය මෙහෙයුම්/ අධීක්ෂණ කළමනාකරණ සේවයට අයත් නිලධාරීන් (Supervisory Management Service) සඳහා TL යනුවෙන් අලුත් වැටුප් කේතයක් හඳුන්වා දී එහි ආරම්භක වැටුප රු. 36,095 වශයෙන් පිහිටුවා ඇත. එයට අමතරව, දුම්රිය එන්ජින් රියදුරු සහායකගේ (Railway Engine Driver Aide) වැටුප MT 1 වැටුප් කේතය යටතේ ආරම්භක වැටුප රු. 34,415 ලෙස පිහිටුවා ඇත. මේ අනුව, දුම්රිය සේවකයන් තම වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා ගනු ලැබූ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් පැන නොනඟී. ඒ අනුව, මෙම වැඩිවීම යටතේ 2015 වසරේදී රු. 11,730 ක්ව පැවැති රාජ්‍ය සේවයේ ප්‍රාථමික මට්ටමේ සේවකයකුගේ අවම මූලික වැටුප 2020 වනවිට රු. 24,250 දක්වා වැඩිවීම දැනටමත් අනුමත වී ඇත. මෙය, නව වැටුප් විෂමතා පිළිබඳ කොමිසමේ නිර්දේශ අනුව එකී වැටුප රු. 27,250 දක්වා රු. 3,000 කින් තවදුරටත් වැඩිවනු ඇත.

    මෙම වැටුප් වැඩිවීමට සාපේක්ෂව ලක්ෂ 11 කට ආසන්න සමස්ත රාජ්‍ය සේවකයන්ගේ අතිකාල දීමනාද වැඩිවේ. තවද, මෙම නව වැඩිවීම් සියල්ල මූලික වැටුපට එකතු කරන බැවින් , වැටුපට සමාන මුදලේ එකතුවක් ලෙසආපදා ණය හා දේපල ණය ලබාගැනීමේදී ද දැනට ලබාගන්නා ප්‍රමාණයට වඩා වැඩිප්‍රමාණයක් ණය වශයෙන් ලබා ගැනීමට රාජ්‍ය සේවකයන්ට වරප්‍රසාද හිමිවේ. එබැවින්, මූලික වැටුප මත පදනම් වන අතිකාල දීමනා ඇතුළු අනෙකුත් දීමනාද වැඩිවනු ඇත.

    2015 වසරේදී රු. බිලියන 562 ක්ව පැවැති රාජ්‍ය සේවයේ වැටුප් ගෙවීම් මේ වනවිට රු. බිලියන 750 දක්වා වැඩිවී ඇත. විශ්‍රාම වැටුප් වියදම 2015 වසරේදී රු. බිලියන 157 ක්ව පැවැති අතර, මේ වනවිට එය රු. බිලියන 225 ක් දක්වා වැඩිවී ඇත. වැඩිකල මෙම නව වැටුප 2020 ජනවාරි සහ 2021 ජනවාරි සිට සමාන ප්‍රමාණයකින් ලබාදීමට රජය තීරණය කර ඇති අතර, ඒ සඳහා 2020 දී රු. බිලියන 120 ක් හා 2021 දී තවත් රු. බිලියන 120 ක් වැය වනු ඇත. පසුගිය වසර 4 කට වැඩිකාලයක් තුළ රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් 75000 ක් පමණ සිදුකර තිබේ. රාජ්‍ය සේවයේ තෝරාගත් කාර්ය මණ්ඩලය හා නිලධාරීන්ගේ පඩි වැඩිකරනු ලබන ආකාරය පහත පරිදි වේ.

     

    මූලික වැටුප ඉහළ යන ආකාරය

    වැටුප් කේතය

    තනතුරු කාණ්ඩය

    2015 මූලික වැටුප

    2020
    වන විට මූලික වැටුප

    වැටුප් විෂමතා කොමිසමේ නිර්දේශ අනුව ලැබෙන මූලික වැටුප

    PL I

    ප්‍රාථමික ශිල්පීය නොවන

    11,730/=

    24,250/=

    27,250/=

    MN II

    කළමනාකරණ සහකාර

    13,990/=

    28,940/=

    33,260/=

    MN IV

    ආශ්‍රිත නිලධාරී

    15,215/=

    31,490/=

    36,530/=

    SL I (III)

    විධායක නිලධාරී

    22,935/=

    47,615/=

    57,200/=

    SL IV

    අමාත්‍යාංශ ලේකම්

    47,515/=

    98,650/=

    122,625/=

    *TL

    තාක්ෂණික සේවා

    -

    -

    36,095/=

     

    *වාරිමාර්ග ඉංජිනේරු සහකාර, ශ්‍රී ලංකා තාක්ෂණ සේවය, ශ්‍රී ලංකා දුම්රිය මෙහෙයුම්/අධීක්ෂණ කළමනාකරණ සේවය TL කාණ්ඩය යටතට ගැනේ.

    Latest News