එජාප ජනාධිපති අපේක්ෂක ලෙස සජිත් ප්‍රේමදාස නම් කෙරේ

සැප් 26, 2019

    එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා, එම පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය, ඒකමතික ලෙස එම තීරණයට එළැඹුණේ, සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ අද පැවති විශේෂ රැස්වීමකදී.  

    ජනාධිපති ධූර අපේක්‍ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක්, අරලියගහ මන්දිරයේ දී අද උදේ පැවැත්විණ. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ආරම්භ වූයේ, සවස 3.00ට පමණ. කමිටු සාමාජිකයින් 68 දෙනෙකු ඊට සහබාගි වූහ. ජනාධිපතිවරණය සඳහා නියෝජ්‍ය නායක සජිත්ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යුතු බව, කෘත්‍යාධිකාරී මණ්ඩලයට යෝජනා කරන ලද්දේ, එක්සත් ජාතික පක්‍ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. සියලු පක්‍ෂ සාමාජිකයින් යෝජනාව ඒකමතිකව සම්මත කළේය.

    ජනාධිපතිධූර අපේක්‍ෂකත්වය පිළිබඳ යෝජනාව අනුමත කිරීමේ පක්‍ෂ සම්මේලනය ලබන මස 03 වැනි දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට ද එහිදී තීරණය කෙරිණ. ජනාධිපති ධූර අපේක්‍ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා හඳුන්වාදීමේ පළමු ජන රැලිය ලක්‍ෂ සංඛ්‍යාත ජනකායකගේ සහභාගිත්වයේ ඔක්තෝබර් 10 වැනි දින කොළඹ ගාලුමුවදොර පිටියේ දී පැවැත්වීමට නියමිතවේ. අපේක්‍ෂකත්වයට නම් කිරීමෙන් පසු සිරිකොත මන්දිරයෙන් පිටතට පැමිණි සජිත් ප්‍රේමදාස මහතාට රැස්ව සිටි ජනතාවගෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමක්.

    එක්සත් ජාතික පක්ෂය මෙවර ජනාධිපතිවරණයට එක්සත් ජාතික පෙරමුණෙන් තරග වැදීමට නියමිතයි. එ අනුව ජනාධිපති අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කිරිමට එහි සෙසු පක්ෂවල අනුමැතිය පිරිනැමිණ. 

    1967 දී උපත ලැබූ සජිත් ප්‍රේමදාස මහතා කොළඹ ශානත් තෝමස් සහ රාජකීර විද්‍යාලවලින් මූලික අධ්‍යාපනය ලබා ගත්තේය. පසුව ලන්ඩනයේ මිල් හිල් පාසලට ඇතුළත් වූ ඔහු, එහි අධ්‍යාපනය අවසන් කළේ, විශිෂ්ටතම විදේශීය ශිෂ්‍යයෙකුට හිමිවන ගෞරව සම්මාන ද ලබා ගනිමින්. සිව් වසරක්ම විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සජිත් ප්‍රේමදාස මහතා 1986 දී එහි නායකත්වයට ද පත් විය.

    පසුව, ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව, දේශපාලන හා අන්තර් ජාතික සබඳතා පිළිබඳ උපාධියක් ලබා ගත්තේය. සෙනෙට් සභික ලැරී ප්‍රෙස්ලර් යටතේ ඔහු අමෙරිකාවේ දී ලැබූ විදේශ සබඳතා පිළිබඳ අධ්‍යයනය පසුකලද ඔහුගේ දේශපාලන ජීවිතට ද මහගු පිටිවහලක් විය. එම අධ්‍යාපනය අතරතුර 1993 දී සජිත් ප්‍රේමදාස මහතාට හදිසියේම මවුබිමට පැමිණීමට සිදුවූයේ, තම පිය වූ එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ඝාතනය ලක්වීම පිළිබඳ පුවත සැලවීමත් සමගයි. පියාගේ අභාවයෙන් පසු 1994 දී දේශපාලනයට අවතීර්ණ වූ සජිත් ප්‍රේමදාස මහතා, ඒ සඳහා තෝරා ගත්තේ, ඈත පිටිසර ප්‍රදේශයක් වූ හම්බන්තොට දිස්ත්‍රික්කයි.

    දුගී බව පිටුදැකීමට තම පියා අනුගමනය කළ ජනසවිය වැඩසටහන ගුරු කොට ගනිමින් ජන සුවය වැඩසටහන ආරම්භ කළ ඔහු හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට ඉන් මහත් ප්‍රතිලාභ අත්කර දුන්නේය.

    එක්සත් ජාතික පක්ෂ යහපාලන රජය බලයට පත්වීමත් සමඟ කැබිනට් මණ්ඩලයෙට ඇතුළත් වූයේ, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙසයි. මෙරට ජනතාවගේ දිළිඳුකම තුරන් කිරීම හා නිවාස අවශ්‍යතා ඉටු කරලීම උදෙසා බිම් මට්ටමේ සිට ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවූ ඔහු මහා සංඝරත්නයෙන් ආශිර්වාද මැද ශාසල දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරන්ජන යන ගෞරව නාමයෙන් ද පිදුම් ලැබීය. නියෝජ්‍ය නායකයා ලෙස එදා මෙදා තුර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රගමනයට විශිෂ්ට සේවයක් ඉටු කරමින් සිටින සජිත් ප්‍රේමදාස මහතා වෙත මේ වසරේ දී සංස්කෘතික අමාත්‍යාංශයේ වගකීම ද පැවරිණ.

    Last modified on බ්‍රහස්පතින්දා, 26 සැප්තැම්බර් 2019 20:28

    Latest News