අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට ජනපතිගෙන් උපදෙස් (වීඩියෝ)

සැප් 24, 2019

    අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය සියලූ පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දි තිබේ.

    එම සහන කටයුතු සඳහා ත්‍රීවිධ හමුදාවේ සහාය ලබා ගන්නා ලෙසත්, නාය යෑමේ අවදානම පවතින ප‍්‍රදේශවල ජනතාව ඉවත් කිරීමේ කටයුතු ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව කඩිනම් කරන ලෙසත් ජනාධිපතිතුමා උපදෙස් දී ඇත. පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන වැඩපිළිවෙළේ දී ප‍්‍රතිපාදන ගැටලූවක් කර නොගන්නා ලෙස උපදෙස් දුන්ජනාධිපතිතුමා ඒ සඳහා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීම් සිදුකරන ලෙසත්, තමා මැදිහත්වී එම මුදල් ලබාදීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කළේය.

    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය සහ එ මඟින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ වැඩපිිළිවෙළ පිළිබඳ අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවක දී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ ය.

    ඉදිරි මාස 02ක කාලය තුළඅධික වැසි තත්ත්වය දිගින් දිගටම ඇති විය හැකි බව මෙහිදී සඳහන් ක‍ෙරුණු අතර, පූර්ව සූදානමක් ඇතිව එම තත්ත්වයන්ට මුහුණදීම සඳහා අදාළ අමාත්‍යාංශවල සහ සියලූ අංශවල සම්බන්ධීකරණයෙන් සැලසුම් සහගතව කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පැහැදිලි කළේය. එළැඹෙන ජනාධිපතිවරණයේ දී බාධාවකින් තොරව එම හදිසි ආපදා තත්ත්වයන් කළමනාකරණය කර ගැනීමේ සහ ජනතාවගේ සහන වැඩපිළිවෙළ විධිමත්කර ගැනීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    පසුගිය දින කිහිපය පුරා ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල, මාතර සහ කොළඹ දිස්ත්‍රික්කවල පුද්ගලයන් 6,000කට වැඩි පිරිසක් ආපදාවට ලක්ව ඇති අතර ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක සහන වැඩපිළිවෙළ ද සමාලෝචනය කෙරිණි. නියං තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 15 ක පමණ ජනතාවට පානීය ජලය බෙදාදීමේ කටයුතු ආපදා කළමනාකරණ අමාත්‍යාංශය  විසින් ක්‍රියාවට නංවා තිබූ බවත් එම කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බවත් මෙහිදී පෙන්වා දුනි.

    ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂ ලේකම් ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ යන මහත්වරුන් සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

     

     

     

    Last modified on අඟහරුවාදා, 24 සැප්තැම්බර් 2019 20:08

    Latest News