ගෝඨාභය ගැන පරීක්ෂණයකට අදාළ හඬපට ඉල්ලා නියෝගයක්

සැප් 23, 2019

    ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ පරීක්ෂණයකට අවශ්‍ය හඬ පට ලබාදෙන ලෙස මහේස්ත්‍රාත් අධිකරණය විද්‍යුත් මාධ්‍ය තුනකට අද (23) නියෝග කරයි.

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයක් පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු විසින් කරන ලද ප්‍රකාශ අඩංගු සංස්කරණය නොකරන ලද වීඩියෝ පට රහස් පොලිසිය වෙත ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද විද්‍යුත් මාධ්‍ය ආයතන තුනකට නියෝග කර ඇත.

    රහස් පොලිසිය විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් මෙම නියෝගය කර තිබේ.

    2005 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ අමෙරිකානු පුරවැසියෙකු වශයෙන් සිටියදී සංචාරක වීසා මත මෙරටට පැමිණ දේශපාලන ක්‍රියාකාරකම්වල නිරත වීම තුළින් ගෝඨාභය රාජපක්ෂ මහතා පුරවැසි පනත, ආගමන හා විගමන පනත සහ මැතිවරණ පනත උල්ලංඝනය කර ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශනයක් සිදු කරන බව රහස් පොලිසිය විසින් ඉකුත් සිකුරාදා අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

    මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණි වියන්ගොඩ යන මහත්වරු විසින් පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇතැයි කියා සිටි රහස් පොලිසිය එම පැමිණිලිකරුවන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි ද දැනුම් දී තිබේ.

    වැඩිදුරටත් කරුණු දැක්වූ රහස් පොලිසිය මෙම පරීක්ෂණය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු විසින් ඉකුත් 20 වනදා ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කර ඇති බවත් එම ප්‍රකාශවල සංස්කරණය නොකරන ලද වීඩියෝ දර්ශන තමන් වෙත ලබාදෙන මෙන් විද්‍යුත් මාධ්‍ය ආයතන තුනකට නියෝග නිකුත් කරන මෙන්ද ඉල්ලා ඇත.

    රහස් පොලිසිය අධිකරණය වෙත ඉදිරිපත් කළ වාර්තා මගින් සඳහන් කර තිබෙන්නේ අමෙරිකානු පුරවැසිභාවය අහෝසි කර ඇති බව සඳහන් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැදුනුම්පතක් ලබා ගෙන ඇති බව පැමිණිලිකරුවන් සිය පැමිණිල්ලේ සඳහන් කර ඇති බවත් ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවයි.

    ඊට අමතරව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිය දිවිත්ව පුරවැසිභාවය අහෝසි කිරීමට අදාළව විධිමත් පුරවැසි සහතිකයක් ඉදිරිපත් කර නොමැති බවට පැමිණිලිකරුවන් සඳහන් කරන කාරණය පිළිබඳව ද විදේශ අමාත්‍යාංශය, අමෙරිකානු කොන්සල් කාර්යාලය යනාදී ආයතන වෙතින් තොරතුරු ලබා ගෙන තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව ද රහස් පොලිසිය වැඩිදුරටත් අධිකරණය වෙත දැනුම් දී තිබේ.

    Latest News