වැරදි නඩු දැමීමට උපදෙස් දුන් දේශපාලකයින් දිල්රුක්ෂි ඩයස් හෙළි කළ යුතුයි.... ජනපති කියයි

සැප් 21, 2019

    විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතුය යන්න එදා මෙන්ම අදත් තම දේශපාලන ප‍්‍රතිපත්තිය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    එය අතපසු කළේ තමා නොව, පාර්ලිමේන්තුව බවත්, එහෙත් මැතිවරණයක් නිවේදනය කර ඇති මේ මොහොතේ ඊට උත්සාහ දැරීම විහිළුවට කරුණක් බවත් ඔහු කියා සිටියේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (21) පස්වරුවේ නාවුල දී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතලේ දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

    විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳ පසුගියදා කැඳ වු හදිසි විශේෂ කැබිනට් රැස්වීම තම අවශ්‍යතාවයට අනුව කැඳවූ බවට අගමැතිවරයා කර ඇති ප‍්‍රකාශය පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ එය ඉතා වැරදි ප‍්‍රකාශයක් බවත් එම කැබිනට් රැස්වීම් පැවැත්වීමට කටයුතු කෙරුණේ අග‍්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම අනුව බවත් ය.

    එමෙන්ම මේ දිනවල මාධ්‍යවල පළවන අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියගේ හඬ පටය පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා සිහිපත් කළේ, එතුමිය සිය තනතුර අතහැර ගියේ තම අනුදැනුමකින් තොරව හිටපු ත්‍රිවිධ හමුදාපතිවරු අධිකරණයට ගෙන ගිය අවස්ථාවේ තමා විසින් සිදුකළ ප‍්‍රකාශයක් හේතුවෙන් බවයි.

    උදේ සිට සවස 4.00 වන තුරු අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ රාජකාරි කර සවස 6.00න් පසු අරලිගයග මන්දිරයේ දුෂණ වංචා ලේකම් කාර්යාලයේ රාජකාරි කළ දිල්රුක්ෂි ඩයස් මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූරයක් සඳහා පත්කරන ලෙස මෑතක දී ද අග‍්‍රාමාත්‍යවරයා විසින් තමාගෙන් ඉල්ලීමක් කළ බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා, දිල්රුක්ෂි ඩයස් මහත්මියගේ හඬ පටයේ සඳහන් වන අන්දමින් වැරදි විදියට නඩු දමන්න ඇයට උපදෙස් ලබා දුන් එම පහත් පෙළේ දේශපාලනඥයන් කවුදැයි රටට හෙළිකරන ලෙස තමා එතුමියට දන්වන බවත් එය රටට අනාවරණය කිරීම අත්‍යාවශ්‍ය බවත් කියා සිටියේය.

    මේ අතර ඊයේ දින තමා සහ පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ කරුණු සෙවීමේ පාර්ලිමේන්තු තේරිම් කාරක සභා නියෝජිතයන් අතර පැවති හමුව මාධ්‍යයට අනාවරණය නොකිරීම තමාගේ ඉල්ලීමට අනුව සිදුවූ බවට කෙරෙන අසත්‍ය ප‍්‍රචාර පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ එම සාකච්ඡාව ආරම්භයේ සිට අවසානය දක්වා මාධ්‍යයට විවෘත කිරීමට තමා සියලූ කටයුතු සූදානම් කර තිබුණත් එසේ නොකරන ලෙස ඉල්ලා සිටියේ එම පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව විසින් ම බවයි.

    අදාළ සිදුවීම පිළිබඳ අදහස් සහ යෝජනා ලබාගැනීමට තේරිම් කාරක සභාව තමාගෙන් ඉල්ලීමක් කර තිබූ අතර, එහිදී තම අභිමතය පරිදි කටයුතු කළ හැකි බව නීතිපතිවරයා දන්වා තිබුණත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන නායකයෙකු ලෙස තමා එම අවස්ථාව ලබාදුන් බව කියා සිටි ජනාධිපතිතුමා සැඟවීමට කිසිවක් තමාට නොමැති අතර අදාළ සිදුවීම පිළිබඳ සියලූ සත්‍ය කරුණු තමා එම නියෝජිතයන්ට පැවසූ බව ද සඳහන් කළේය.

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දීප ව්‍යාප්තව සංවිධානය කරන දිස්ත්‍රික් සමුළු මාලාවේ මාතලේ දිස්ත්‍රික් සමුළුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාක්ෂිකයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අද (21) පස්වරුවේ නාවුල දී පැවැත්විණි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ අලූතින් කෙතරම් දේශපාලන පක්ෂ බිහි වුව ද එම දේශපාලන පක්ෂවල ප‍්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ කෙතරම් දුරට ජනතාවාදී ද යන්න ජනතාවගේ අවධානයට ලක්විය යුතු බවයි.

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් දේශපාලන පක්ෂයක් බවත්, සංඛ්‍යාත්මකව ගණන් හැදීමට වඩා වැදගත් වන්නේ දේශපාලන පක්ෂයක ගුණාත්මකභාවය බවත් පැවසූ ජනාධිපතිතුමා කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයා පත්කරගත හැක්කේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ බලවේගයක් තුළින් පමණක් බවයි.

    සියලූදෙනා රැකගනිමින් රට ගැන සිතන ජාතික වැඩපිළිවෙළකට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එළැඹෙන බවත් එහි ශක්තිය යටපත් කිරීමට කිසිවෙකුට නොහැකි අතර අලූතින් පත්වූ දේශපාලන පක්ෂවලට වඩා ඉතිහාසයක් ඇති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට දුෂණ වංචා, අවස්ථාවාදය සහ පවුල්වාදය පිළිබඳ කිසිදු චෝදනාවක් නොමැති බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, මහ ලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, තිලංග සුමතිපාල, ශාන්ත බණ්ඩාර මාතලේ දිස්ත්‍රික් සංවිධායක ලක්ෂ්මන් වසන්ත පෙරේරා, යන මහත්වරුන් ඇතුළු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජික සාමාජිකාවන් රැසක් මෙම හමුවට එක්ව සිටියහ.

    Latest News