කොළඹ පිටත වටරවුම මාර්ගයේ තුන්වන අදියර නොවැ. සිට වාහන ගමනාගමනයට (විඩියෝ)

සැප් 21, 2019
  • ලබන නොවැම්බර් මාසයේ කොළඹ පිටත වටරවුම මාර්ගයේ තුන්වන අදියර වාහන ගමනා ගමනයට විවෘත කෙරෙන බව, මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

    කඩවත සිට කෙරවලපිටිය දක්වා වන එම කොටසේ දිග කිලෝ මීටර 9.63ක්. කොට්ටාවේදී, දක්‍ෂිණ අධිවේගී මාර්ගයට සම්බන්ධ වන කොළඹ පිටත වටරවුම මාර්ගයේ පළමු අදියර වූයේ, කොට්ටාවේ සිට කඩුවෙල දක්වා කොටසයි. දෙවන අදියර ඉදි වුයේ, එහි සිට කඩවත දක්වායි. මධ්‍යම අධිවේගී මාර්ගය එම පද්ධතියට සම්බන්ධ වන්නේ, කඩවත හුවමාරු මධ්‍යස්ථානයෙන්. තුන්වන අදියර කෙරවලපිටිය දක්වා ඉදිවීමත් සමඟ එය කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයට ද සම්බන්ධ වේ.

    “කොළඹ නගරයේ පවතින අධික රථවාහන තදබදයට එක් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ප්‍රධාන මාර්ග කිහිපයක් කොළඹ නගරය හරහා වැටී තිබීමයි. පිටත වටරවුම මාර්ගය නිර්මාණය කර ඇත්තේ, ඊට විසඳුමක් ලෙස. තුන්වන අදියරේ වැඩ අවසන් වීමත් සමඟ කොළඹ පිටත වටරවුම මාර්ගයේ ඉදිකිරීම් සම්පුර්ණයෙන්ම අවසන් වනවා. මාර්ගය සම්පූර්ණවීමත් සමඟ කොළඹ නගරයේ රථවාහන තදබදය බොහෝ දුරට අඩුවනු ඇතැයි ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂ එන්.කේ.එල්.නෙත්තිකුමාර මහතා පවසයි.

    “කටුනායක ගුවන් තොටුපොළින් පිටත් වෙන කෙනෙකුට ඉදිරියේ දී පුළුවන් කෙලින්ම මාතර දක්වා ගමන් කරන්න. පැය දෙකයි විනාඩි 35ක් වගේ කෙටි කාලයක් තුල. අපි දන්නවා කෙරවලපිටියේ තියෙනවා විශාල තෙල් පර්යන්තයක්. ඒකට දිනකට තෙල් බවුසර් 800ක් විතර එනවා. ඉදිරියේදී වැඩි දෙනෙක් මේ මාර්ගය භාවිතා කරයි කියලා අපි හිතනවා. අධිවේගී මාර්ගයක් ඔස්සේ එන කෙනෙකුට නගරයට ඇතුලුවන්න අවශ්‍යතාවක් නැහැ. එයාට පුලුවන් පිටත වටරවුම් මාර්ගය භාවිතා කරලා ඒ තමන්ට අවශ්‍ය ස්ථානයට ළඟාවෙන්න“

    මංතීරු 4කින් යුත් නව අධිවේගී මාර්ගයේ තුන්වන කොටස ගුවන් පාලම් 05ක්, යටිබිම් මාර්ග 02ක් සහ බෝක්කු 30කින් සමන්විතයි. ඊට වැය කෙරුණු මුදල රුපියල් බිලියන 78ක්. මෙරට දීර්ඝතම ගුවන් පාලම වැටී ඇත්තේ ද පිටත වටරවුම් මාර්ගයේ කඩවත සිට කෙරවලපිටිය අතරයි. මුතුරාජවෙල වගුරුබිම හරහා ඉදිකර ඇති එම පාලමේ දිග කිලෝ මීටර් 6.55ක්. වියදම් අධික වුවද, පරිසර හානිය අවම කිරීමේ පියවරක් ලෙස පාලම ඉදිකළ බව, ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂ එන්.කේ.එල්. නෙත්තිකුමාර මහතා පවසයි. මාර්ගයේ ඉදිකිරීම් සිදු කළේ, චීනයේ එම්.සී.සී. සමාගමයි. එහි ඉදිකිරීම් 98%කින් අවසන් බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. නොවැම්බර් මාසයේ දී වාහන ගමනාගමනයට විවෘත කිරීමත් සමඟ මෙරට සියලුම අධිවේගී මාර්ග කිනෙක යා වනු ඇති.

    Last modified on සෙනසුරාදා, 21 සැප්තැම්බර් 2019 19:08

    Latest News