සෞදි අරමුදලින් සබරගමුවට වෛද්‍ය පීඨයක්

සැප් 18, 2019

    සෞදි අරමුදල (SFD) වෙතින් සබරගමුව විශ්වවිද්‍යාලයෙහි වෛද්‍ය පීඨයක් ස්ථාපනය කිරීම සඳහා සෞදි රියාල් මිලියන 187.5ක් ලබාදී ඇත.

    ඒ සඳහා සහනදායී කොන්දේසි යටතේ සෞදි රියාල් මිලියන 187.5, ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 50ක් ලබා දීමට සෞදි අරමුදල සිය එකඟතාවය ලබා දී තිබේ.

    අදාළ ගිවිසුම 2019 සැප්තැම්බර් මස 18 වන දින මුදල් අමාත්‍යාංශයේ දී අත්සන් කරන ලදි. ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා අත්සන් කළ අතර සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල (SFD) වෙනුවෙන් එහි නියෝජ්‍ය සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂ කලීඩ් සුලෙයිමන් අල්කුඩෙයිරි මහතා අත්සන් කරන ලදි.

    සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයක් ස්ථාපනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් දැනටමත් අනුමැතිය ලබාදී ඇති අතර, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන 2017 අයවැය මඟින් වෙන්කර ඇත. එසේම, වෛද්‍ය පීඨය සඳහා ඇතුළත් කරගන්නා පළමු කණ්ඩායම මේ වනවිටද ලියාපදිංචි කර ඇත.

    රජයේ ප්‍රතිපත්ති රාමුව වන “දැක්ම 2025” ට සමගාමීව, අධ්‍යාපන, නිපුණතා සංවර්ධනය හා සෞඛ්‍යය ආරක්ෂණය වැනි සාමාජීය අවශ්‍යතා ලබාදීම හා වැඩිදියුණු කිරීම රජයේ සංවර්ධන වැඩපිළිවෙලහි ප්‍රධාන අංගයන් වේ. සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශයේ ඇති වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ ජනගහනය 100,000 කට සිටින වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාව 77 කි. එසේවුවද, ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව, අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය හා කැනඩාව වැනි සංවර්ධිත රටවල ජනගහනය 100,000 ට සිටින වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාව ශ්‍රී ලංකාවට වඩා ඉහළ අගයක් ගනී.

    තවද, රාජ්‍යය විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීම ඉහළ නැංවීම තුළින් තෘතියික අධ්‍යාපන පහසුකම් පුළුල් කිරීමට අවශ්‍ය පියවර රජය ගනු ලබනු ඇත. සංවර්ධන ප්‍රතිලාභ රටේ සෑම ප්‍රදේශයක් සඳහාම ව්‍යාප්ත කිරීමට රජය මගින් පරිශ්‍රමයක් දරන හෙයින්, රට තුළ ඉහළ ප්‍රමිතියෙන් යුතු සෞඛ්‍ය පහසුකම් ඇතිකිරීම, ගුණාත්මක හා පුහුණුව ලත් සෞඛ්‍ය වෘත්තියක් ඇති කිරීම හා ඒකාබද්ධ විය යුතුය.

    1981දී සෞදි පදනම හරහා දෙවන ජල හා ජලාපවාහන ව්‍යාපෘතියට අමෙරිකානු ඩොලර් මිලියන 30 ක ණය මුදලක් ලබාදීම මගින් ශ්‍රී ලංකා රජය හා සෞදි අරාබි රාජාණ්ඩුව අතර ආර්ථික සහයෝගීතාවය ආරම්භ විය. සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල මගින් සහනදායී ණය යටතේ මූල්‍යයනය කරන ලද සංවර්ධන ව්‍යාපෘතීන් රටවල් දෙක අතර සහයෝගීතාවයේ සංධිස්ථාන වනු ඇත. 2018 වර්ෂය අවසන් වනවිට මාර්ග, සෞඛ්‍යය, වාරිමාර්ග, ප්‍රජා සංවර්ධනය හා උසස් අධ්‍යාපනය යන ක්ෂේස්ත්‍රයන් සඳහා ඇ.ඩො. මිලියන 386ක පමණ ණය ආධාර සෞදි අරමුදල මගින් ශ්‍රී ලංකාව වෙත ලබා දී ඇත.

    Latest News