පුරප්පාඩු මන්ත්‍රීධූර සඳහා අද දිවුරුම් දෙන නව මන්ත්‍රීවරු (වීඩියෝ)

සැප් 17, 2019

    මනෝජ් සිරිසේන, ශාන්ත බණ්ඩාර, එම්. ඩී. බී. හේරත් නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කථානායක ඉදිරියේ දිවුරුම් දෙති.

    ඒ අනුව මනෝජ් සිරිසේන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතාගේ අභාවයෙන් හිස් වු මන්ත්‍රී ධුරය සඳහා පත් කෙරේ. ඒ මහතා 2015 වසරේ පැවැති මහමැතිවරණයේ දී මාතර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට තරග කරනු ලැබිණ. ඔහු පසුගිය අප්‍රේල් 23 වැනිදා දක්වා දකුණු පළාත් සභාව නියෝජනය කළේ පලාත් ඇමතිවරයෙකු ලෙසිනි.

    එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් හිස් වූ මන්ත්‍රී ධූරයට එච්. එම්. ඩී. බී. හේරත් මහතා පත්කෙරේ. එච්. එම්. ඩී. බී. හේරත් මහතා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ලෙස සිය දේශපාලන දිවිය ආරම්භ කර පසුව වාරියපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස තේරී පත්ව කටයුතු කර තිබේ. පසුව වයඹ පළාත් සභාවට තරග කර එහිද මන්ත්‍රීවරයෙකු ලෙස හා ඉන්පසු කෘෂිකර්ම හා සෞඛ්‍ය යන පළාත් අමාත්‍යධූර හොබවා ඇත. ඔහු 2015 මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළේය.

    එසේම පුරප්පාඩු වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ශාන්ත බණ්ඩාර මහතා පත් කෙරේ. මීට පෙර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටි ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් පසුව ඉල්ලා අස් විය. ඒ සාලින්ද දිසානායක මහතාගෙන් පුරප්පාඩු වු මන්ත්‍රී ධුරය සදහා තේරී පත්වීමේ අපේක්ෂාවෙනි. නමුත් අදාළ පුරප්පාඩුව සඳහා එච්.එම්.ඩි.බි.හේරත් මහතා පත් කරනු ලැබීය. ඒ අනුව, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිස්වු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ මහලේකම්වරයා විසින් යළිත් වරක් ශාන්ත බණ්ඩාර මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත යවා ඇති අතර ඒ අනුව අද දින ඔහු එම ධූරයේ දිවුරුම් දෙනු ලැබිණ.

    Last modified on අඟහරුවාදා, 17 සැප්තැම්බර් 2019 20:18

    Latest News