පාලිතගේ අල්ලස් නඩුව සේනාධිපති නොමැතිව විභාගයට තීන්දුවක්

සැප් 17, 2019

    රුපියල් ලක්ෂ 355 ක් අල්ලස් වශයෙන් දීම හා ලබාගැනීම සම්බන්ධයෙන් රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති යන මහත්වරුන්ට එරෙහිව නඩුවක් ඔක්තෝබර් මස 22 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

    අදාළ නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහින්ද මහතා ඉදිරියේ කැඳවනු ලැබිණ.

    නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර ඇති වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.


    ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා විදේශ ගතව වෛද්‍ය ප්‍රතිකාර ලබන බව ඔහුගේ නිතිඥවරු විසින් අධිකරණයට අද කියා සිටියේය. එහිදී අල්ලස් කොමිසම අධිකරණයට කියා සිටියේ විත්තිකාර සේනාධිපති නොමැතිව නඩුව පවත්වාගෙන යාම සඳහා තමන් ඉදිරියේදී සාක්ෂි මෙහෙය වීමට අපේක්ෂා කරන බවයි.

    ඒ අනුව නඩුව නැවත ඔක්තෝබර් මස 22 දා කැඳවීමට නියම කළ විනිසුරුවරයා එදින අදාල සාක්ෂි මෙහෙයවීම සිදුකර ලෙස අල්ලස් කොමිසමට දැනුම් දුන්නේය. මෙහිදී නඩුවේ පළමුවන විත්තිකරු වූ පාලිත ප්‍රනාන්දු මහතාගේ ඇප කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ ඉල්ලීමක් පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා විත්තිකාර පාලිත ප්‍රනාන්දු මහතාගේ ඇප කරුවන් හතර දෙනා වෙත පණවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කිරීමටද නියෝග කළේය.

    පසුගිය රජය සමයේ ගාලූ වරාය ආසන්නයේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉටුකර දීම සඳහා රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතාට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුවෙන් එක් චෝදනාවක් එල්ල කර තිබේ. එම රුපියල් ලක්ෂ 355 ක මුදල අල්ලස් වශයෙන් ලබාගත් බවට විත්තිකාර විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට ද මෙම නඩුවෙන් තවත් චෝදනාවක් එල්ල කර ඇත

    Latest News