ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාව විනාශ කිරීමේ සිද්ධිය සැකකරුට ඇප

සැප් 10, 2021

    ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් ලියාපදිංචි කරනු ලබන ඖෂධ වලට අදාළ ලේඛන ගබඩා කර තිබූ පරිගණක දත්ත ගබඩාව මැකී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම දත්ත ගබඩාව පවත්වාගෙන ගිය "එපික් ලංකා" නැමැති පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීයා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හරීන්ද්‍ර කල්පගේ නමැති මෙම සැකකරු අද දහවල් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

    ඒ අනුව අදාළ සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය ඔහුගේ විදේශ ගමන් තහනම් කළ අතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවට නියෝග කළා.

    එමෙන්ම සෑම මසකම අවසන් ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතු බවටද සැකකරු වෙත තවත් ඇප කොන්දේසියක් පනවනු ලැබුවා.

    පැමිණිල්ල නැවත ලබන 13 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එදින තෙක් විනාශයට ලක් වූ බව කියන දත්ත අඩංගු පරිගණක ගබඩාව යවත් කාලින කිරිමෙන් වළකින ලෙසත්, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් මහේස්ත්‍රාත්වරිය විසින් නොතීසි නිකුත් කළා.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත ඖෂධ ලියාපදිංචි කිරීම සඳහා විවිධ සමාගම් විසින් ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම්වලට අදාල ආධාරක ලේඛන ගබඩා කර තබන පරිගණක දත්ත ගබඩාව විනාශ වීම සම්බන්ධයෙන් එම අධිකාරිය විසින් සිදුකරන ලද පැමිණිල්ල කට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව සඳහන් කළා.

    මෙම විනාශ කෙරුණු දත්ත ගබඩාවේ අන්තර් ගත දත්තවල වටිනාකම මෙතෙක් ගනනය කර නොමැති බව පෙන්වා දුන් එම නිලධාරීන් අදාළ දත්ත මැකී යාම හේතුවෙන් ඖෂධ ලියාපදිංචි කිරීමේ කටයුතු වලට බාධා සිදුවී ඇතැයි පෙන්වා දුන්නා.

    මෙම පරිගණක දත්ත පවත්වාගෙන යාමේ වගකීම ඖෂධ නියාමන අධිකාරිය විසින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ මෙම සැකකරු ප්‍රධානත්වය දරණ සමාගම වෙත පවරා තිබූ බව පෙන්වා දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ඒ අනුව අදාල අධිකාරිය සතු පරිගණක දත්ත ආරක්ෂා කිරීම, පවත්වාගෙන යාම සහ Back up පවත්වාගෙන යාමේ වගකීම එම සමාගම වෙත පැවරී තිබූ බව සඳහන් කළා.

    එහෙත් එම වගකීම ඉටු කිරීමට අදාළ සමාගම අසමත් වී ඇතැයි පෙන්වා දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ තුළින් ඔහු සාපරාධී විශ්වාසය කඩ කර තිබෙන බවත් ඒ අනුව පොදු දේපළ පනත යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවත් දැනුම් දුන්නා.

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාවට ඇතුලත්වීමේ මුරපදය මෙම සමාගමේ පුද්ගලයින් හතර දෙනෙකු අත තිබී ඇතැයි පෙන්වාදුන් එම නිලධාරීන් මෙය සංකීර්ණ පරීක්ෂණ කටයුත්තක් බවත් විමර්ශන කටයුතු තවමත් අවසන් වී නොමැති හෙයින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඉල්ලා සිටියා.

    සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම දත්ත ගබඩාව මැකී යාමේ සිද්ධිය පිළිබඳව තම සේවාදායකයා තම සමාගම තුළ අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වූ බව පැවසුවා.

    එම අභ්‍යන්තර පරීක්ෂණයේදී මෙම දත්ත ගබඩාව විනාශ වීමේ යාම පිළිබඳ වගකීම අදාල සමාගමේ සේවය කළ ප්‍රමෝද් නැමැති ඉංජිනේරුවරයෙකු විසින් භාරගෙන තිබූ බවත් ඔහුට එරෙහිව ආයතනික මට්ටමෙන් මේ වන විට විනය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත් නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියා.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තම සේවාදායකයා විසින් මේ බව ඉකුත් ජූලි මස 31 වනදා ලිඛිතව දන්වා තිබුණද ප්‍රමෝද් නැමැති ඉංජිනේරුවරයා ගෙන් මේ දක්වා ප්‍රකාශයක් වත් සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාකර නැතැයිද ජනාධිපති නීතිඥවරයා චෝදනා කළා.

    මෙහිදී මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම දත්ත ගබඩාවට ප්‍රවේශ වීමේ මුරපදය මෙම සැකකරු සන්තකයේ තිබී ඇත් දැයි ප්‍රශ්න කළා.

    ඊට ප්‍රතිචාර දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේ එවැන්නක් පිළිබඳව විමර්ශනවලදී කරුණු අනාවරණය වී නොමැති බවයි.

    වැඩිදුරටත් මහේස්ත්‍රාත්වරිය ප්‍රශ්නයක් යොමු කරමින් ප්‍රශ්නගත දත්ත ගබඩාව විනාශ කිරීමේ සිද්ධියට මෙම සැකකරු සම්බන්ධ බවට සෘජු සාක්ෂි අනාවරණය වී තිබේ දැයි විමසුවා.

    ඊට ප්‍රතිචාර දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ අදාළ දත්ත ගබඩාව විනාශ කිරීමට මෙම සැකකරු සම්බන්ධ බවට මෙතෙක් සෘජු සාක්ෂි අනාවරණය වී නොමැති බවයි.

    එහෙත් එම දත්ත ගබඩාව ආරක්ෂා කිරීමේ වගකීම මෙම සැකකරු වෙත පැවරී ඇති බවත් එම වගකීමෙන් ඔහුට බැහැර විය නොහැකි බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ.

    දෙපාර්ශවය විසින් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම සැකකරු දත්ත ගබඩාව විනාශ වූ පසු ඒ පිළිබඳව අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා කරුණු අනාවරණය කර ගැනීමට කටයුතු කර ඇති නිසාත්, මෙම දත්ත ගබඩාව විනාශ කිරීමේ කාර්යයට ඔහු සෘජුවම සම්බන්ධ බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී නොමැති වීම හේතුවෙන් සැකකරු ඇප මත මුදා හැරීමට තීන්දු කරන බව නියෝග කළා.

    Latest News