රන්ජන්ගේ අධිකරණ අපහසයට - වික්ටර් අයිවන් හා ප්‍රසන්න විතානගේ සාක්කිකරුවන් ලෙසින්

සැප් 16, 2019

    අධිකරණයට අපහාස කළ බවට අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවේ සාක්ෂිකරුවන් වන අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්ට සහ "උසාවිය නිහඬයි" චිත්‍රපටයේ අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේට ලබන 30 වනදා සාක්ෂි දීමට අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිතාසි නිකුත් කළේය.

    සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් සිතාසි නිකුත් කෙරිණ.

    රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු අධිකරණය විසින් එම සිතාසි නිකුත් කර ඇත.

    නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තියේ සාක්ෂියක් වශයෙන් නම්කර තිබෙන රාවය පුවත්පතේ කර්තෘ වික්ටර් අයිවන් මහතා විසින් රචනා කළ "නොනිමි අරගලය" නැමැති ග්‍රන්ථය අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා. එම ග්‍රන්ථය ඉදිරිපත් කරමින් එය රචනා කළ වික්ටර් අයිවන් මහතා ද සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටියේය. එම ග්‍රන්ථය ඉදිරිපත් කිරීමේ අරමුණ කුමක්ද යන්න එහිදී විනිසුරු සිසිර ද ආබෲ මහතා විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා ගෙන් විමසා සිටියේය.

    මෙම ග්‍රන්ථය තුළ හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා ඇතුළු විනිසුරුවරු කීපදෙනෙකුගේ දූෂිත ක්‍රියා පිළිබඳව සඳහන්ව තිබෙන හෙයින් ඒ පිළිබඳ ව සාක්ෂියක් මෙහෙය වීමට විත්තිකරු අපේක්ෂා කරන බව ඊට පිළිතුරු දෙමින් ජනාධිපති නීතිඥ සුමන්දිරන් මහතා ප්‍රකාශ කළේය.

    රන්ජන් රාමනායක විසින් චෝදනාව වත්මන් විනිසුරුවරුන් පිළිබඳව හෙයින් විශ්‍රාම ගිය අතීතයේ සේවය කළ විනිසුරු පිළිබඳව සාක්ෂි මෙහෙයවීම වැදගත් කමක් තිබේදැයි විනිසුරු සිසිර ද ආබෲ මහතා ප්‍රශ්නයක් යොමු කරමින් විමසීය. වග උත්තරකරු මෙම නඩුවට පාදක වන ප්‍රකාශය සිදු කළ අවස්ථාවේ මෙම ග්‍රන්ථයේ සඳහන් උපාලි අබේරත්න නමැති විනිසුරුවරයා සක්‍රීය සේවයේ යෙදී කටයුතු කළ බව ජනාධිපති නීතිඥ සුමන්දිරන් මහතා ප්‍රකාශ කළේය.

    ඒ අනුව අදාළ ග්‍රන්ථය අධිකරණය වෙත ඉදිරිපත් කර වික්ටර් අයිවන් මහතාගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරුණු අතර ඔහුගේ සාක්ෂි සටහන් කර ගැනීම අවසන් කෙරුණා.

    වැඩිදුර විභාගය ලබන 30 වනදා තෙක් කල් දැමුණා.

    පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා යන මහත්වරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් රන්ජන් රාමනායක මහතාට එරෙහිව එම චෝදනා පත්‍රය ගොනු කර තිබේ.

    2017 වසරේ අගෝස්තු මස 21 වනදා අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍යවරයා හමුවීමෙන් පසුව ජනමාධ්‍ය වලට අදහස් පලකල රංජන් රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් සහ නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිත බව ප්‍රකාශ කර තිබිණ. ඒ තුළින් මෙරට විනිසුරුවරුන් සහ අධිකරණ පද්ධතිය පිළිබඳව රංජන් රාමනායක මහතා මහජනතාව තුළ පවතින විශ්වාසය හීන කරන ආකාරයෙන් කටයුතු කර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කෙරිණ.

    Latest News