ජාතික ඕසෝන් දින සැමරුම් උලෙළ ජනපති ප්‍රධානත්වයෙන් (වීඩියෝ)

සැප් 16, 2019

    ජගත් ඕසෝන් දින සැමරුම් ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්විණි.

    අදට යෙදී ඇති ජාත්‍යන්තර ඕසෝන් දිනය හා මොන්ට්‍රියෙල් සන්ධානයේ 32 වන සංවත්සරයට සමගාමීව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සැමරුම් උලෙළ සංවිධානය කර තිබිණි.

    මේ හා සමගාමී ව ඉදිරිපත් කෙරුණු “වායු දූෂණය” පිළිබඳ පෝස්ටර් නිර්මාණ ප්‍රදර්ශනය විවෘත කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    මෙම උත්සවයේ විද්වත් දේශනය “මොන්ට්‍රියෙල් සන්ධානයට සිදු කරන ලද කිගාලි සංශෝධනය සහ දේශගුණික විපර්යාස වැළැක්වීම සඳහා එයින් ලබාදෙන දායකත්වය” යන මැයෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය කේ.කේ.සී.කේ පෙරේරා මහතා විසින් සිදු කරන ලදී.

    ශ්‍රී ලංකාව මොන්ට්‍රියෙල් සන්ධානයේ පාර්ශ්වකරුවකු වීමේ 30වන සංවත්සරය සනිටුහන් කරමින් සමරු මුද්දර කවරයක් නිකුත් කිරීම ද සිදු කෙරිණි.

    “වායු දූෂණය අවම කිරීම” තේමා කර ගනිමින් පාසල් දරුවන් අතර පැවති තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග සහ සහතික පත් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    විශ්වවිද්‍යාල හා තාක්ෂණික විද්‍යාල වෙත පරිසර හිතකාමී උපකරණ ප්‍රදානය සහ රේගු බලාත්මක නිලධාරින් සඳහා ගෝලීය මොන්ට්‍රියෙල් සන්ධාන සම්මාන ප්‍රදානය ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    මොන්ට්‍රියෙල් සන්ධානයේ සියලු පාර්ශ්වකාරී රාජ්‍යයන් විසින් සෑම වසරකම සැප්තැම්බර් 16 දින ජගත් ඕසෝන් දිනය වශයෙන් සමරනු ලබන අතර, ශ්‍රී ලංකාව ද එම සන්ධානයේ පාර්ශ්වකරුවෙකු ලෙස නොකඩවාම එම වැදගත් දිනය සැමරීම සිදු කරනු ලබයි.

    ඕසෝන් වියන සුරැකීමේ දී ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස සංවර්ධිත රටවලට ඉදිරියෙන් සිටින අතර, ඕසෝන් වියනට හානිකර වායු නිකුත් කරන උපාංග භාවිතයෙන් ඉවත් කිරීමේ දී ඉතා ඉදිරියෙන් සිටින රටක් ලෙස ද සැලකේ. මොන්ට්‍රියෙල් සම්මුතියට අනුව ඕසෝන් වියනට අහිතකර භාවිතයන්ගෙන් ශ්‍රී ලංකාව 2020 වන විට 35% කින් ද 2025 වන විට 67.5% කින් ද 2030 වන විට 100% කින් ද ඉවත්වීමට ගිවිස ගෙන ඇත.

    මහවැලි සංවර්ධන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක යන මහත්වරුන් සහ එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජ්‍ය නේවාසික නියෝජිත ෆයිසා එෆැන්ඩි මහත්මිය ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on සදුදා, 16 සැප්තැම්බර් 2019 20:01

    Latest News