රන්ජන් අධිකරණය හමුවට

දෙසැ 03, 2021

    සිර දඬුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබෙන දෙවැනි පැමිණිල්ල විභාගයට ජනවාරි මස 24 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

    මෙම පැමිණිල්ල අද එස්. තුරෙයි රාජා, ඒ.එච්.එම්.ඩී.නවාස් සහ අර්ජුන ඔබේසේකර යන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

    එම අවස්ථාවේදී දැනට සිරදඬුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ද බන්ධනාගාර නිලධාරීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණ.

    මෙම අවස්ථාවේදී රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා පෙනී සිටින බව දන්වා සිටියේය.

    තම සේවාදායකයා මෙම නඩුව කෙටියෙන් අවසන් කර ගැනීමට අපේක්ෂා කරන බවත් ඒ පිළිබඳව සලකා බැලීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

    වැඩි දුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා තම සේවාදායකයා විවෘත විශ්වවිද්‍යාලයේ උපාධියක් හදාරන බවත් එහි පළමු වසර මේ වන විට ඔහු විසින් සම්පූර්ණ කර ඇති බවත් පැවසීය.

    එම උපාධිය දෙවන වසරට අදාල දේශන ලබන එකොලොස් වනදා මාර්ග ගත තාක්ෂණය ඔස්සේ ආරම්භ වීමට නියමිත බව සඳහන් කළ ජනාධිපති නීතිඥ වරයා ඊට සහභාගි වීමට තම සේවාදායකයාට අවසර දෙන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

    එවිට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු තුරෙයිරාජා මහතා සඳහන් කළේ මෙම ඉල්ලීම මුලින්ම බන්ධනාගාර බලධාරීන් වෙත ඉදිරිපත් කරන ලෙසයි.

    බන්ධනාගාර නිලධාරීන් ඊට යම් සහනයක් ලබා නොදුනහොත් එම ඉල්ලීම මෝසමක් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන ලෙසත් විනිසුරුවරුයා පැවසුවා.

    අනතුරුව මෙම පැමිණිල්ල ජනවාරි මස 24 වැනිදා කැඳවීමට ද නියම විය.

    2018 වසරේ එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්ත විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් රූපවාහිනි වැඩසටහනකදී සිදු කළ ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු වරු කරන ලද පැමිණිල්ලකට අනුව රන්ජන් රාමනායක මහතාට එරෙහිව මෙම නඩු විභාගය පැවැත්වෙයි.

    Latest News