ඇවන්ගාඩ් සභාපති ඇතුළු 13කට අධිචෝදනා 7573 ක නඩුවක්

සැප් 10, 2019

    ගාලු වරායේ ආසන්න මුහුදු තීරයේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන්ව ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අද අධි චෝදනා ගොනු කළේය.

    නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කර සිටියේ මෙම විත්තිකරුවන් 13 දෙනාට එරෙහිව චෝදනා 7573 ක් යටතේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බවයි.

    2014 වසරේ අප්‍රේල් මස 7 වනදා සහ 2015 වසරේ ඔක්තෝබර් මස 6 වන දා දක්වා කාලසීමාව තුළ හික්කඩුව ආසන්න මුහුදේ එම්. වී. ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ නිසි බලපත්‍රයක් හෝ අවසර පත්‍රයක් නොමැතිව ස්වයංක්‍රිය ගිනි අවි 816 ක් සහ ජීව උණ්ඩ දෙලක්ෂ නවසිය තිස් පහක් තබාගැනීම තුළින් විත්තිකරුවන් වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර ඇත.

    විත්තිකරුවන් විසින් සංවිධානාත්මක කළ මෙම අපරාධ ක්‍රියාව දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් දැඩි කැලඹීමකට තුඩුදුන් බැවින් මෙම නඩුව ජූරි සභාවක් නොමැති ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කිරීමට සුදුසු බවට නීතිපති කළ ඉල්ලීම පිළිගනිමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් මෙම නඩුව විභාගයට සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.

    ඒ අනුව ධම්මික ගනේපොල , ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මණ්ඩලය ඉදිරියේ එම නඩුව ඉදිරියේදී විභාගයට ගැනීමට නියමිතය.

    Latest News