ඥානසාර හිමිට පොදු සමාව දීම ව්‍යවස්ථාවට පටහැනියැයි ඉදිරිපත්කළ පෙත්සම දෙසැ.5 විභාගයට

සැප් 10, 2019

    අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් සිරදඬුවම් ලබා සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට පොදු සමාව ලබාදී නිදහස් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කරන ලද පෙත්සම් දෙකක් සලකා බැලීම සඳහා දෙසැම්බර් මස 05 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේය.

    අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබිණ.එම පෙත්සම් අදහස් සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය එම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දෙසැම්බර් මස පස්වන දා කැඳවන ලෙසයි.

    පෙත්සම්කරුවන් කියා සිටීන්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අභියාචනාධිකරණය මගින් වසර හයක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ බවයි.

    එවැනි සිර දඬුවමක් නියම කළ අයෙකුට පොදු සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒ තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලමින් පෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 10 සැප්තැම්බර් 2019 13:35

    Latest News