වැලිකඩ ජේලර් ඝාතනයට තවත් 2ක් අත්අඩංගුවට

සැප් 03, 2019

    වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් ගිනි අවියක්,උණ්ඩ 12ක්,මැගසිනයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

    අදාළ ඝාතනයට සම්බන්ධයෙන් අවශ්‍යකර සිටි සැකකරුවෙකු සම්බන්ධයෙන් සීසීටීවී කැමරා දර්ශන හා දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ විමර්ශන සිදුකර අම්බලන්ගොඩ පොලීසිය මගින් ඊයේ (02) සවස 3.55ට මෙම සැකකරු අත්අඩංගුවට ගැනිණ.

    27 හැවිරිදි කුලිගොඩ පදිංචි රුවන් ධනුෂ්ක ද සිල්වා නමැති මෙම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී අපරාධය සිදුකිරීමට යොදාගන්නා ටී56 ගිණි අවියක්, උණ්ඩ 12ක් හා මැගසිනයක් ද අපරාධය සිදුකිරීමට යොදාගන්නා ලද යතුරුපැදියක් ද සොයා ගැනිණ.

    මෙම සැකකරු සමග අත්අඩංගුවට ගත් ගිණි අවි පරිහරණය කළ බවට අණාවරණය වූ වයස අවුරුදු 42ක් වූ තල්ගස්ගොඩ, අම්බලන්ගොඩ පදිංචි ගුරුගේ රුවන් නිරෝෂන් නමැති තවත් සැකකරුවෙක් ද අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් දෙදෙනා අද දින (03) බම්බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් මෙරිඤ්ඤ තිලිණ රුවන් තිහාර ජයරත්න යන අයට යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කකරුවන් දෙදෙනෙක් විසින් පසුගියදා (2019.08.03) සවස 6.00ට පමණ වෙඩි ප්‍රහාර එල්ල කළේය. ඉන් තුවාල ලැබූ ජේලර්වරයා රෝහල්ගත කිරීමෙන් පසු මිය ගියේය.

     

    Last modified on අඟහරුවාදා, 03 සැප්තැම්බර් 2019 08:49

    Latest News